1544. රජතුමනි, මාගේ කීම ඇසුවමනා ය. ප්‍රයෝජනයක් සලකා ගෙන ජුණ්හ (නම්) ඔබ වෙත පැමිණියෙමි. දෙපා ඇත්තන් අතර උතුම් වූ රජතුමනි, බමුණන් ද මගියන් ද පැමිණ සිටිය දී (ඔවුන්) නො බලා යායුතු යයි (පඬිවරු) නො කියති.
1545. බමුණ, (ඔබ කීම) අසමි. (මෙහි) සිටිමි, කියව. යම් ප්‍රයෝජනයක් සලකා මෙහි ආයෙහි ද ? මා කෙරෙහි වූ කුමක් පතමින් මෙහි ආයෙහි ද ? බමුණ, එය වහා කියව.
1546. ගම්වර පහක් ද දැස්සන් සියයක් ද ගවයන් සත් සියක් ද දහසකට වැඩි ස්වර්‍ණ නිෂ්ක ද (ජාතිකුලාදීන්) මා හා සමාන බිරියන් දෙදෙනකු ද මට දුන මැනැවි.
1547. බමුණ, ඔබට උසස් වූ තාපස ගුණධර්‍මයෙක් ඇත් ද නැතහොත් විසිතුරු වූ මන්ත්‍ර තිබේ ද, නැතහොත් සුවච වූ කිසි යක්‍ෂ කෙනෙක් හෝ සිටිත් ද, නැතහොත් ඔබ විසින් මට කළ කිසියම් හිතකර කිසිවක් දන්නෙහි ද?
1548. මට තපසෙක් නැත, මන්ත්‍ර ද නැත, සුවච යක්‍ෂයෝ ද නැත. ඔබට කළ යහපතකු දු නො දනිමි. පෙරැ ඔබ හා සමාගමය පමණෙක් විය.
1549. දන්නා වූ මට මේ පළමු වර දැක්මයි. මීට පෙරැ ඔබ නො හඳුනමි. කවදා කො තැනෙකැ අප හමුවීම සිදුවී ද? පුළුවුස්නා ලද මට මෙය කියව.
1550. දේවයන් වහන්ස, ගන්‍ධාර රජතුමාගේ රම්‍ය තක්සලා නගරයෙහි විසූම්හ. එහි ගනඳුරු (පැවැති) රැයෙකැ අංසයෙන් අංසය ගැටූමු.
1551. මහරජ, අපි එහි දී සිහි කළ මනා කතා කෙළෙමු. අප හමුවීම එ පමණෙකි. ඉන්පසු හමුවීමෙක් නො වීය. ඉන් පෙරැ ද නො වීය.
1552. බමුණ, යම් කලෙක සත්පුරුෂයන් හා හමුවීමෙක් වේ ද මොහොතක් පැවැති එකතුව හෝ බොහෝ කලක් පැවැති එක්වීම හෝ පෙර කළ දැය හෝ පඬිවරු විනාශ නො කරත්.
1553. අඥයෝ මොහොතක් කල් හෝ බොහෝ කලක් හෝ පැවැති එකතුව නසත්, කළ ගුණ ද නසත්. බාලයන් කෙරේ කළ හොඳ වැනැසේ. ඒ එසේ මැ යි. අඥානයෝ කළ ගුණ නො දන්නාහු ය.
1554. ප්‍රාඥයෝ හමුවීම හෝ එක්ව වාසය හෝ පෙරැ කළ උපකාරයන් (දන්නා ගුණය) නො නසත්. නුවණැතියන් කෙරේ කළ හොඳ නො නැසේ. ඒ එසේ මැ යි. නැණැත්තෝ කළ ගුණ දන්නාහු ය.
1555. ඔබට ගම්වර පහක් ද දැස්සන් සියයක් ද ගවයන් සත් සියයක් ද දහසකට වැඩි ස්වර්‍ණ නිෂ්ක ද සමාන බිරියන් දෙදෙනකු ද දෙමි.
1556. රජතුමනි, සත්පුරුෂයන් හා එකතු වීම නිසා මෙසේ එය වෙයි. කසී රටේ අධිපති රජ, තාරකා මැද සඳසේ (ක්‍රමයෙන්) පිරෙයි. මම ද අද ඔබතුමා දුන් ගම්වරාදීන් නිසා එසේ වෙමි. දැන් මා විසින් තොප හා සඞ්ගමය ලබන ලදි.
2. ජුණ්හ ජාතක යි.
1557. මම දෙවිමිනිසුන්ට යශස ගෙන දෙන්නෙක්මි. මම පින් කරන්නෙක්මි. මහණ බමුණන් විසින් නිතර පසස්නා ලද්දෙමි. මාර්‍ගය ලබන්නට සුදුස්සෙක්මි. දෙවිමිනිසුන්ගේ පිදුම් ලද්දෙම් වෙමි. අධර්‍ම නම් දිව්‍යපුත්‍රය, මම ධර්‍ම දිව්‍යපුත්‍රයා වෙමි. මට මඟ දුන මැනැවි.
1558. (දැහැමි නම් දේවපුත්‍රය,) මම නො දැහැමි දෙවියා වෙමි. මම ශක්තිමත් අධර්‍ම යානයට නැඟ ගතිමි. බලවතෙක් වීමි. මිතුර, කිසිවෙකුටත් නුදුන් විරූ මඟ කවර හෙයින් අද මම ඔබට දෙම් ද?
1559. ලොවෙහි පළමු වැ ධර්‍මය පහළ විය. පසු වැ අධර්‍මය පහළ විය. (එ හෙයින්) ධර්‍මය ජේෂ්ඨ වෙයි. ශ්‍රේෂ්ඨ වෙයි. පැරැණි ද වෙයි. අධර්‍ම දිව්‍ය පුත්‍රය, ඔබ කනිටු ය. වැඩි මහලු ධර්‍ම දිව්‍ය පුත්‍ර වූ මාගේ මගෙන් ඉවත් වෙව.