85. මතු වන්නා වු දෝෂය නො දැන යමෙක් කාමයන් සෙවුනේ ද කන ලද කිම්පක්ක නම් විෂඵලය මෙන් (ඒ කාමයෝ) ඒ පුරුෂයා විපාක සඞ්ඛ්‍යාත අන්තයෙහි (නිරයෙහි නොයෙක් දුක් දී) නසත්.
5. කිම්පක්ක ජාතක යි.
86. ආචාර සීලය ම යහපත් ල, ලෝකයෙහි සීලය ශ්‍රේෂ්ඨ ය. බලව, නපුරු විෂ ඇති සර්‍ප තෙමේ සිල්වත් වෙමි යි (අන්‍යයනට) හිංසාවක් නො කෙරේ.
6. සීලවීමංස ජාතකය යි.
87. යම් රහත් කෙනකුගේ (දිට්ඨ-සුත-මුත ආදී) මංගලයෝ ද (සූර්‍ය්‍යග්‍රහණාදී) උත්පාතයෝ ද ස්වප්නයෝ ද ලක්‍ෂණයෝ ද මනාකොට නසන ලද්දහු ද මංගලදෝෂයන් ඉක්ම සිටියේ ද යුගධර්‍මයන් ද යෝගධර්‍මයන් ද යටපත් කොට සිටියේ ද ඒ රහත් උතුමා ඒකාන්තයෙන් (ප්‍රතිසන්‍ධි වශයෙන් මේ ලෝකයට) නො එන්නේ යි.
7. මංගල ජාතක යි.
88. කල්‍යාණ වූ වචන ම කටින් නිකුත් කරන්නේ ය. ලාමක වචනයක් නො ම නිකුත් කරන්නේ ය. කල්‍යාණ වචනයාගේ (බිණීම) යහපති, ලාමක තෙපුල් බැණැ (දෙලොව) තැවෙන්නේ යි.
8. සාරම්භ ජාතක යි.
89. මෘදු වූ තෙපුල් බණන්නා වූ තොපගේ වචන ම මට සිලිටි වී, තණකෙන්‍දක් පමණෙකැ නො ඇලුණෙහි ය, (එහෙත්) නිෂ්ක සියයක් හැරැ ගෙනැ යන්නේ නො වෙහි ද?
9. කුහක ජාතක යි.
90. යමෙක් පෙරැ කරන ලද උපකාර ඇති වැ නිෂ්පාදිත කෘත්‍ය ඇත්තේ (කළ උපකාරය) නො දනී ද පසුව කටයුත්තක් පැමිණි කල්හි (ඔහුට) එය කැරැදෙන්නකු නො ලබා යී.
10. අකතඤ්ඤ ජාතක යි.
නවවැනි අපායිම්හ වර්‍ග යි.
එහි උද්දාන:
අපායිම්හ (සුරාපාන) දූහක (මිත්තවින්‍දක) සත්තපද (කාලකණ්ණි) ජළද්වාර (අත්‍ථස්ස ද්වාර) ආයති (කිම්පක්ක) අභිසීලව (සීලවිමංස) මංගල පාපික (සාරම්භ) සතනික්ඛ (කුහක) කතත්‍ථවර (අකතඤ්ඤ) යන දසය යි.