86. ආචාර සීලය ම යහපත් ල, ලෝකයෙහි සීලය ශ්රේෂ්ඨ ය. බලව, නපුරු විෂ ඇති සර්ප තෙමේ සිල්වත් වෙමි යි (අන්යයනට) හිංසාවක් නො කෙරේ.
6. සීලවීමංස ජාතකය යි.
87. යම් රහත් කෙනකුගේ (දිට්ඨ-සුත-මුත ආදී) මංගලයෝ ද (සූර්ය්යග්රහණාදී) උත්පාතයෝ ද ස්වප්නයෝ ද ලක්ෂණයෝ ද මනාකොට නසන ලද්දහු ද මංගලදෝෂයන් ඉක්ම සිටියේ ද යුගධර්මයන් ද යෝගධර්මයන් ද යටපත් කොට සිටියේ ද ඒ රහත් උතුමා ඒකාන්තයෙන් (ප්රතිසන්ධි වශයෙන් මේ ලෝකයට) නො එන්නේ යි.
7. මංගල ජාතක යි.
88. කල්යාණ වූ වචන ම කටින් නිකුත් කරන්නේ ය. ලාමක වචනයක් නො ම නිකුත් කරන්නේ ය. කල්යාණ වචනයාගේ (බිණීම) යහපති, ලාමක තෙපුල් බැණැ (දෙලොව) තැවෙන්නේ යි.
8. සාරම්භ ජාතක යි.
89. මෘදු වූ තෙපුල් බණන්නා වූ තොපගේ වචන ම මට සිලිටි වී, තණකෙන්දක් පමණෙකැ නො ඇලුණෙහි ය, (එහෙත්) නිෂ්ක සියයක් හැරැ ගෙනැ යන්නේ නො වෙහි ද?
9. කුහක ජාතක යි.
90. යමෙක් පෙරැ කරන ලද උපකාර ඇති වැ නිෂ්පාදිත කෘත්ය ඇත්තේ (කළ උපකාරය) නො දනී ද පසුව කටයුත්තක් පැමිණි කල්හි (ඔහුට) එය කැරැදෙන්නකු නො ලබා යී.
10. අකතඤ්ඤ ජාතක යි.
නවවැනි අපායිම්හ වර්ග යි.
එහි උද්දාන:
අපායිම්හ (සුරාපාන) දූහක (මිත්තවින්දක) සත්තපද (කාලකණ්ණි) ජළද්වාර (අත්ථස්ස ද්වාර) ආයති (කිම්පක්ක) අභිසීලව (සීලවිමංස) මංගල පාපික (සාරම්භ) සතනික්ඛ (කුහක) කතත්ථවර (අකතඤ්ඤ) යන දසය යි.
10. ලිත්ත වර්ගය
91. මහාතේජස් ඇති හලාහලවිෂයෙන් රැඳුණු පසඇට ගිලින්නා වූ පුරුෂ තෙමේ (එහි විෂ රැඳුණු බව) නො දනී, නීචය, (පසඇට) ගිල, පාපධුර්තය ගිල, පසුව හෙවත් මෙය ගිලූ කලැ තට කටුක විපාකයෙක් වන්නේ ය.
1. ලිත්ත ජාතක යි.
92. එළඹසිටි යුද්ධයෙහි හෙවත් යුද්ධයක් පැමිණි කල්හි ශුරයා (නිර්භය පුරිෂයා ද) මන්ත්රණය කරන කල්හි (රහස් හෙළි නො කරන හෙයින්) අකුතුහල පුරුෂයා ද මධුරාහරාදීන් එළවූ කල්හි (එක් වැ වළඳනා) ප්රියයා ද (ප්රශ්න විසර්ජනාදි) අථියක් උපන් කල්හි පණ්ඩිතයා ද කැමති වෙති. (පැතිය යුත්තේ ය.)
2. මහාසාර ජාතක යි.
93. (පෙරැ විශ්වාසයෙන් සිට පසුව) අවිශ්වාස වූවහු කෙරෙහි විශ්වාසය නො කරන්නේ ය. (පෙරැ අවිශ්වාස ව සිටැ) විශ්වාස වූවහු කෙරෙහි විශ්වාස නො කරන්නේ ය. එබඳු විශ්වාසයෙන් මීවින්න (මෘගමාතෘ) ගෙන් සිංහයාට මෙන් භය පැමිණේ.
3. විශ්වාස භෝජන ජාතක යි.
94. (හිරුරැසින්) විශේෂයෙන් තැවුණෙමි, (හිමදියෙන්) විශේෂයෙන් තෙත් වූයෙම්, බියකරු වෙනෙහි හුදකලා වූයෙම්, නග්න වූයෙම්, ගිනි සමීපයෙහි නො හිදිනෙම්. (බ්රහ්මචර්ය්යා) සෙවීමෙහි යෙදුණෙම්. (මුනිභාවය පිණිස පිළිපන්නෙකැ යි) ලෝකයාගේ සැලකුම් ලැබීමි.
4. ලෝමහංස ජාතක යි.
95. සංස්කාරයෝ හෙවත් හේතුප්රත්යයයෙන් හටගත් වස්තූහු ඒකාන්තයෙන් අනිත්යයහ. ඉපද නස්නා ස්වභාවය ඇත්තාහ. ඉපැද නැති වෙති. ඒ සංස්කාරයන්ගේ සන්හිඳීම නම් වූ නිවන් ම සුව ය යි.
5. මහාසුදස්සන ජාතක යි.