42. අර්‍ත්‍ථයක් කැමැතිවැ හිතචිත්තයෙන් අනුකම්පා කරන්නාහුගේ ඒ අනුශාසනය අවවාද ලබන යමෙක් නො කෙරේ ද පරවියාගේ වචනය නො කොට අමිත්‍ර වූ සූදයගේ (අරක්කැමියා) අතට ගිය කාකයා මෙන් (ව්‍යසනයට පැමිණැ) හෝනේ ය.
2. කපොත ජාතකය.
43. දියුණුව කැමැත්තා වූ හිතචිත්තයෙන් අනුකම්පා කරන්නාහුගේ අනුශාසනය ඔවා ලබන යමෙක් නො කෙරේ ද හෙතෙමේ වේළුක නම් සර්‍පයාගේ පිය යම්සේ ද එපරිද්දෙන් නෂ්ට ව හෝනේ ය.
3. වේළුක ජාතකය.
44. ප්‍රඥායෙන් යුක්ත වූ අමිත්‍ර තෙමේ උතුම් වේ. ප්‍රඥායෙන් විප්‍රහීණ වූ (නුවණ නැති) මිත්‍ර තෙමේ උතුම් නො වේ මැ යි (කුමක් හෙයින් යත්) මූඪ (කෙළතොලු) පුත්‍ර තෙමේ මදුරුවා මරමි යි පියාගේ හිස පැළී ය.
4. මකස ජාතකය.
45. අනුකම්පා කරන යම්බඳු බාලයෙක් ඇද්ද (ඔහුට වඩා) නුවණැත්තා වූ අමිත්‍රයා උතුම් වේ. බාලවූ රෝහිණී නම් නුවණ නැත්තිය බලව (මැස්සන් මරමි යි) මව මරා ශෝක කරන්නී ය.
5. රෝහිණී ජාතකය.
46. අනර්‍ත්‍ථයෙහි දක්‍ෂයා විසින් කරන ලද අර්‍ත්‍ථචර්‍ය්‍යාව සුව එළවන්නී නො වේ. නුවණ නැති බාලයා දියුණුව පිරිහෙළයි. (කවරක්හු මෙන් ද යත්) උයන බැලීමෙහි යෙදුණු වානරයා මෙනි.
6. ආරාමදූෂක ජාතකය.
47. අනර්‍ත්‍ථයෙහි දක්‍ෂයා විසින් (අර්‍ත්‍ථයෙහි අදක්‍ෂයා විසින්) කරන ලද අර්‍ත්‍ථචර්‍ය්‍යාව සුව එළවන්නී නො වේ. නුවණ නැති බාලයා දියුණුව පිරිහෙළයි. (කවරක්හු මෙන් ද යත්) සුරාව නැසූ කොණ්ඩඤ්ඤ නම් ශිෂ්‍යයා මෙනි.
7. වාරුණී ජාතකය.
48. යමෙක් අනුපායයෙන් (වැරදි මගින්) අභිවෘද්ධි කැමති වේ ද හෙතෙමේ (එයින්) විනාශ වෙයි. චේතිය නම් රටවැසි සොරු (වෛදර්භ නම් මන්ත්‍රය හේතුකොටගෙන) වේදබ්භ නම් බමුණා නැසූහ. ඒ සොරු සියලු දෙනා ද (ඔවුනොවුන් ඇන කොටාගෙන) විනාශයට පැමිණියෝ ය.
8. වේදබ්භ ජාතකය.
49. අර්‍ත්‍ථය නැකත් බලන ආඥනයා ඉක්මැ යෙයි. අර්‍ත්‍ථය (අභීෂ්ට ප්‍රතිඵල ලාභය ම) බලාපොරොත්තු වන අභිවෘද්ධිය ලැබීම ම නැකත වේ. තාරකාවෝ කවර නම් අර්‍ත්‍ථයක් යොදත් ද (නො යොදත් ම ය.)
9. නක්ඛත්ත ජාතකය.
50. මා විසින් නුවණ නැති මිනිසුන් දහසෙකින් (යාගයක් කරමි යි දේවතාවන් වෙතට ගොස්) ආරාධනා කරන ලදි. මම දැන් යාගය කෙරෙමි. කුමක් නිසා ද යත් අධාර්මික ජනයා බහුලය (එහෙයිනි.)
10. දුම්මේධ ජාතකය.
පස්වැනි අත්‍ථකාම වර්‍ග යි.
පළමු පණ්ණාසක යි.
එහි උද්දාන:
මිත්තක (ලොසක) කපොත වේළුක එළමූග (මකස) රෝහිණී කපි (ආරාම දූසක) වාරුණී වෙනචරා (වේදබ්භ) තාරක (නක්ඛත්ත) යඤ්ඤචර (දුම්මේධ) යන දසය යි.