3. 5. 3.
[සඞ්ඝාටිකර්ණ සූත්රය]
92. භාග්යවතුන් වහන්සේ විසින් මේ සූත්රය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, ඉදින් යම් මහණෙක් (මාගේ) සඟළ සිවුරු කොණ අල්ලා ගෙණ (මාගේ) පියවරෙහි පියවර තබමින් පසුපසින් ලුහුබඳනේ වේ ද, හෙ තෙමේත් අධික ලෝභී වූයේ, පස්කම් සැපයෙහි තියුණු ඇලුම් ඇත්තේ, විපරීත සිත් ඇත්තේ, දූෂිත චිත්තසංකල්පනා ඇත්තේ, මුළා සිහි ඇත්තේ, සම්යක් ප්රඥා නැත්තේ, එකඟ වූ සිත් නැත්තේ, විශේෂයෙන් තැති ගත් සිත් ඇත්තේ, පියෙවි ඉඳුරන් ඇත්තේ, (ඉන්ද්රියසංවර නැත්තේ) වේ ද, එසේ ඇති කල්හි ඒ මහණ තෙම මට දුරෙහි වේ. මම ද ඔහුට දුරෙහි වෙමි. එයට හේතු කිම යත්: මහණෙනි, ඒ මහණ තෙම නව ලොවුතුරාදහම් නො දකී. ධර්මය නොදක්නේ මා නොදක්නේ ය. (එහෙයිනි).
මහණෙනි, යම් ඒ මහණෙක් තෙමේ යොදුන් සියක් දුර වාසය කරන්නේ නමුදු හෙ තෙමේත් අධික ලෝභී නොවූයේ, පස්කම්හි තියුණු ආශා නැත්තේ, විපරීත සිත් නැත්තේ, දූෂිත චිත්තසංකල්පනා නැත්තේ, එළැඹ සිටි සිහි ඇත්තේ වේ ද, එසේ ඇති කල්හි ඒ මහණ තෙම මාගේ සමීපයෙහි වේ. මම ඔහු සමීපයෙහි වෙමි. එයට හේතු කිම යත්: මහණෙනි, ඒ මහණ තෙමේ නව ලොවුතුරා දහම් දකී. දහම් දක්නේ මා ද දකී (එහෙයිනි).
මේ කරුණ භාග්යවත්හු වදාළහ. එහි මේ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ.
2. “මහත් ආශා ඇත්තා වූ (කැමැති දෑ නොලැබීමෙන්) දුක් ඇත්තා වූ, තෘෂ්ණාව අනුව යන්නාවූ (කෙලෙස් මැඩීමෙන්) නො නිවියාවූ, (රූපාදි විෂයයන්හි) ගිජු වූ (යම් මහණෙක්) මා ලුහුබඳින්නේ නමුදු, හේ තෘෂ්ණා රහිත වූ, කෙලෙස් නිවියා වූ, පහ කල ගිජුබව් ඇති (සම්බුදු රදුන්ගෙන්) යම් තාක් දුරෙහි වේ ද, (එය) බලව.
3. ඒ නුවණැති මහණ තෙම සිවුසස් දහම් දැන, ඒ දහම් මඟනුවණින් දැන, තෘෂ්ණාරහිත වූයේ, වාතය නොහමන තැනෙක දියවිලක් නොසැලෙන්නා සේ (ක්ලේශචලනය නොමැති ව) සංසිඳෙයි.
4. ඒ මහණ තෙමේ තෘෂ්ණාරහිත වූයේ (කෙලෙස් මැඩීමෙන්) නිවියේ, (රූපාදි විෂයයන්හි) ගිජු නො වූයේ, තෘෂ්ණාරහිත වූයේ, පිරිනිවියා වූ වීතගේධ වූ බුදුරජුනට යම් තාක් සමීපයෙහි වේ ද, (එය) බලව.”
මෙ කරුණ ද භාග්යවත්හු විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
3. 5. 4.
[අග්නි සූත්රය]
93. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, මේ ගිනි තුණෙකි. කවර තුණෙක් ද යත්: රාග නැමැති ගින්න, ද්වේෂ නැමැති ගින්න, මෝහ නැමැති ගින්න, යන මේ යි. මහණෙනි, මේ ගිනි තුණ යැ යි.
භාග්යවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “රාගාග්නි තෙම රාගයෙන් රත් වූ කාමයන්හි මුළා වූ මිනිසුන් දවයි. ද්වේෂාග්නි තෙම ව්යාපාද වශයෙන් පෙරැළුණු සිත් ඇති, ප්රාණඝාතය කරණ මිනිසුන් දවයි.
3. මෝහාග්නි තෙම ආර්ය්ය ධර්මයෙහි අදක්ෂ වූ වෙසෙසින් මුළා වූ මිනිසුන් (දවයි.) සත්කායයෙහි (ස්කන්ධ පංචකයෙහි) ඇලුනාවු ඒ සත්ත්වයෝ මේ රාගාදි අග්නීන් නොදන්නාහු වෙත්.
4. ඒ මාරබන්ධනයෙන් නොමිදුනාවූ (ඔහු) නිරය ද, තිරච්ඡානයෝනිය ද, අසුරනිකාය ද, ප්රේතවිෂයය ද, (එහි ඉපදීම් වශයෙන්) වඩන්නෝ වෙත්.
5. යම් කෙනෙක් රෑ දාවල් දෙක්හි සම්යක් සම්බුද්ධශාසනයෙහි (භාවනා වශයෙන්) යෙදුනාහු වෙත් ද, නිතර අශුභ සංඥා ඇති ඔහු රාගාග්නිය නිවත්.