3. 5. 1.
[අග්‍රප්‍රසාද සූත්‍රය]
90. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, මේ අග්‍ර වූ (ශ්‍රේෂ්ඨ වූ) ප්‍රසාදයෝ (පැහැදීම්) තුන් දෙනෙක් වෙත්. කවර තිදෙනෙක් ද යත්:
මහණෙනි, පා නැත්තා වූ හෝ දෙපා ඇත්තා වූ හෝ සිවුපා ඇත්තා වූ හෝ බොහෝ පා ඇත්තා වූ හෝ රූපය ඇත්තා වූ හෝ රූපය නැත්තා වූ හෝ සංඥා ඇත්තා වූ හෝ සංඥා නැත්තා වූ හෝ නෛවසංඥීනාසංඥී වූ හෝ යම් පමණ සත්ත්‍වයෝ වෙත් ද, ඔවුන් අතුරෙන් මේ තථාගත අර්‍හත් සම්‍යක් සම්බුදුරජ තෙමේ අග්‍රයැ යි (ශ්‍රේෂ්ඨ යැ යි) කියනු ලැබේ. මහණෙනි, යම් කෙනෙක් බුදුන් කෙරෙහි පැහැදුනාහු නම් ඔවුහු අග්‍ර වූ (බුද්ධරත්නයෙහි) පැහැදුනාවූ වෙත්. අග්‍ර වූ බුද්ධරත්නයෙහි පැහැදුනවුන්ට අග්‍ර (ශ්‍රේෂ්ඨ) වූ විපාකය වෙයි.
මහණෙනි, හේතුප්‍රත්‍යයෙන් නිපන්නාවූ හෝ හේතුප්‍රත්‍යයෙන් නොනිපන්නාවූ හෝ යම් පමණ ස්වභාවධර්‍මයෝ වෙත් නම්, ඔවුන් අතුරෙන් යම් මේ (මානාමදාදි) සියලු මද මර්දනය කරන්නාවූ (කාමාදි) පිපාසයන් පහ කරන්නාවූ (කාමාදි) ආලයයන් සහමුලින් නසන, (කම්වට කෙලෙස්වට විවාවට යන) සංසාරවෘත්තයන් සිඳින්නාවූ, තෘෂ්ණාක්‍ෂය කරන්නාවූ, රාගය දුරු කරන්නාවූ, කෙලෙස් නිරුද්ධ කරන්නාවූ නිර්‍වාණයක් වේ ද, (ඒ ධර්‍මය) ශ්‍රේෂ්ඨ යැ යි කියනු ලැබේ. මහණෙනි, යම් කෙනෙක් විරාගධර්‍මයෙහි (නිවණෙහි) පැහැදුනාහු නම් (ඔවුහු) අග්‍ර වූ ධර්‍මරත්නයෙහි පැහැදුනාහු වෙත්. අගතන්හි පැහැදුනවුන්ට වනාහි අග්‍ර වූ විපාකය වෙයි.
මහණෙනි, සඞ්ඝ වූ හෝ ගණ වූ හෝ යම් පමණ (ජනසමූහයක්) ඇද්ද ඔවුන් අතුරෙන් යම් මේ පුරිසයුගල වශයෙන් සතරක් වූ පුද්ගල වශයෙන් අට දෙනෙක් වූ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ ශ්‍රේෂ්ඨ යැ යි කියනු ලැබේ. ඒ භාග්‍යවත්හුගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ දුරින් ගෙණවුත් දිය යුත්ත පිළිගැණීමට සුදුසු වේ. ආගන්තුදානය පිළිගැණීමට සුදුසු වේ. පරලොව අදහා දිය යුත්ත පිළිගැණීමට සුදුසු වේ. දොහොත් මුදුන්හි තබා නමස්කාර කිරීමට සුදුසු වේ. ලොවැස්සාගේ උතුම් වූ පින්කෙත ද වේ. මහණෙනි, යම් කෙනෙක් (මෙබඳු) සඞ්ඝයා කෙරෙහි පැහැදුනාහු නම් ඔවුහු අග්‍ර (සඞ්ඝරත්නයෙහි) පැහැදුනාහු වෙත්. අගතන්හි පැහැදුනවුනට අග්‍ර වූ විපාකය වෙයි.
මහණෙනි, මොවුහු වනාහි අග්‍රප්‍රසාදයෝ තිදෙන වෙත්.
මෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ.
2. “ඒකාන්තයෙන් (රත්නත්‍රවිෂයයෙහි) අග්‍ර වශයෙන් පැහැදුනාවූ උත්තම ගුණස්වභාවය දන්නාවුන්ට ද දක්‍ෂිණාර්‍හ වූ නිරුත්තර අග්‍ර බුදුන් කෙරෙහි පැහැදුනවුනට ද, (අග්‍ර විපාකය වේ.)
3. සියලු කෙලෙසුන්ගේ නොඇලීමට හා සංසිඳීමට හේතු වූ, සැප ඇත්තා වූ අග්‍ර වූ ධර්‍මය කෙරෙහි පැහැදුනවුන්ට ද, උසස් පින් කෙතක් වූ අග්‍ර සඞ්ඝරත්නය කෙරෙහි පැහැදුනවුන්ට ද, (අග්‍ර විපාකය වේ.)
4. අග්‍ර වූ රත්නත්‍රය විෂයයෙහි දන් දෙන්නවුන්ට අග්‍ර වූ පින් වැඩේ. අග්‍ර වූ ආයුෂය ද, ශරීර වර්‍ණය ද, පිරිවර සම්පත ද, කීර්තිය ද, (කායිකචෛතසික) සුවය ද, කායබල හා ඥානබලය ද වැඩෙන්නේ ය.
5. අග්‍ර වූ රත්නත්‍රයට (අග්‍ර වූ දේයධර්‍මය) දෙන්නා වූ නුවණැති පුරුෂ තෙම අග්‍රප්‍රසාදධර්‍මයෙන් හා අග්‍රදානධර්‍මයෙන් යුක්ත වූයේ, දෙවි වූයේ හෝ මිනිස් වූයේ හෝ අග්‍ර බවට පැමිණ සතුටු වෙයි.”
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
3. 5. 2.
[ජීවිකා සූත්‍රය]
91. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, යම් මේ පිඬු සිඟීමෙන් ජීවත්වීමෙක් වේ ද, මේ ජීවිතය ජීවිතයන් අතුරෙන් ලාමක ය. මහණෙනි, “කබලක් ගත් ඇති ව පිඬු සෙවීම ඇසුරු කරන්නෙක් ව හැසිරෙහි” යනු ලෝකයෙහි මේ ආක්‍රෝශ කිරීමෙක් වේ. මහණෙනි, ඒ (මෙබඳු) ආක්‍රෝශ ඇති, පිඬු සිඟීමෙන් කරණ ජීවිකාවට අර්‍ත්‍ථවශික (කාරණයට වසඟ) වූ කුලපුත්‍රයෝ කරුණක් නිසා එළඹෙත්. (ඔවුහු) රජුන් විසින් එළවන ලද්දාහු නො වෙත්. සොරුන් විසින් නෙරපන ලද්දාහු නො වෙත්. නය දී ගත නොහැකිව පෙළුනාහු ද නො වෙත්. බියෙන් පෙළුනාහු ද නො වෙත්. ජීවිකාව ස්වභාව කොට ඇත්තාහු ද නො වෙත්. යළිදු, ඉපදීමෙන් ද, ජරාවෙන් ද, මරණයෙන් ද, ශෝකයෙන් ද, වැලපීමෙන් ද, දුකින් ද, දොම්නසින් ද, දැඩි වෙහෙසින් ද, ගැවැසී ගත්තෝ වමු. දුකිට බැස ගත්තෝ වමු. දුකින් පෙළන ලද්දෝ වමු. මේ සියලු දුක් රාශියගේ කෙළවර කිරීමක් පැණේ නම් නම් ඉතා යෙහෙක කියා යි.
මහණෙනි, මෙසේ පැවිදි වූ ද ඒ කුලපුත්‍ර තෙමේ අධික ලෝභී වූයේ වස්තුකාම ක්ලේශකාමයන්හි තියුණු ආශාව ඇත්තේ, විපරීත සිත් ඇත්තේ, දූෂිත සිත් ඇත්තේ, මුළා සිහි ඇත්තේ, සම්‍යක්ප්‍රඥා රහිත වූයේ, එකඟ නොවූ සිත් ඇත්තේ, විශේෂයෙන් තැති ගත් සිත් ඇත්තේ, ප්‍රකෘති ඉඳුරන් ඇත්තේ (අසංවර වූයේ) වේ ද,
මහණෙනි, යම්සේ දෙපසින් ගිනි ඇවිළ ගත්තාවූ, මැද අසූචි තැවරුණු සොහොන් පෙණෙල්ලක් ගමෙහි (කැණිමඬුලු ආදී) දැවකිස සිදු නො කෙරේ ද, වනයෙහිත් (ඛෙත්තකුටිපාදාදි) දැවකිසක් සිදු නො කෙරේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා ද එසේ (සොහොන් පෙණෙල්ලට) උපමා කොට කියමි. (හෙතෙම) ගිහිසැපතින් පිරිහුනේ අර්‍හත්ත්‍වඵල සඞ්ඛ්‍යාත ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය ද, සම්පූර්‍ණ නොකෙරේ යැ යි.