3. 1. 6.
[දෙවෙනි ඒෂණා සූත්රය]
55. භාග්යවතුන් වහන්සේ විසින් මේ සූත්රය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, මේ ඒසනා (සෙවීම්) තුණෙකි. කවර තුණෙක් ද යත්: කාමය සෙවීමය, භවය සෙවීමය, බඹසර සෙවීමය. මහණෙනි, මේ සෙවීම් තුණයි.
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. කාමේසනා, භවේසනා, මේ ම සැබව සෙසු සියල්ල හිස් ය යි දෘෂ්ටිගත වශයෙන් සම්මත වූ බ්රහ්මචරියේසනා සමග ඒසනා තුණෙකි.
3. සියලු (කාම භව) රාගයන්ගෙන් වෙන් වූ, තෘෂ්ණාක්ෂය සඞ්ඛ්යාත නිර්වාණයෙහි (නිවන අරමුණු කොට) කෙලෙසුන්ගෙන් මිදුණා වූ (රහත්හු විසින්) ඒසනා බැහැර කරන ලදහ. දෘෂ්ටීහු (ප්රථමමාර්ගයෙන්) නසන ලදහ. ඒ මහණ තෙමේ එ ම පර්ය්යෙෂණයන් ක්ෂය කිරීමෙන් ආශා නැත්තෙක් ද (කෙසේ කෙසේ දැ යි පැවති) සැක නැත්තෙක් ද වෙයි.”
මෙ කරුණ ද භගවත්හු විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
3. 1. 7.
[ප්රථම ආස්රව සූත්රය]
56. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, මේ ආස්රවයෝ තිදෙනෙකි. කවර තිදෙනෙක් ද යත්: කාමාස්රවය, භවාස්රවය, අවිද්යාස්රවය යි. මහණෙනි, මේ ආස්රවයෝ තිදෙන වෙත්.
මෙ කරුණ භගවත්හු වදාළහ. එහි අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “එකඟ සිත් ඇති, යහපත් නුවණැති, සිහියෙන් යුත් බුද්ධශ්රාවක තෙමේ ආස්රවයන් ද, ආස්රවයන්ගේ සම්භවය ද (හටගැන්ම ද) මනා කොට දනී.
3. යම් තැනෙක ඒ ආස්රවයෝ නිරුද්ධ වෙත් නම් ඒ නිවණ ද, නිර්වාණගාමී මාර්ගය ද (දනී). ඒ මහණ තෙමේ එම ආස්රවයන් ක්ෂය කිරීමෙන් ආශා රහිත වූයේ පිරිනිවියේ නම් වේ.
මෙ කරුණ ද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් මෙසේ අසන ලදී.
3. 1. 8.
[ද්විතීය ආස්රව සූත්රය]
57. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, ආස්රවයෝ තිදෙනෙකි. කවර තිදෙනෙක් ද යත්: කාමාස්රවය, භවාස්රවය, අවිද්යාස්රවය යි. මහණෙනි, මේ ආස්රවයෝ තිදෙන වෙත්.
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යමකු විසින් කාමාස්රවය ක්ෂය කරණ ලද ද, අවිද්යාව දුරු කරණ ලද ද, භවාස්රවය ක්ෂය කරණ ලද ද, කෙලෙසුන්ගෙන් මිදුනා වූ උපධි රහිත වූ, (ඒ රහත් තෙමේ) සේනාසහිත මාරයා දිනා අන්තිම වූ ශරීරය දරයි.”
මෙ කරුණ ද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.