3. 1. 10.
[මාරධෙය්ය සූත්රය]
59. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, ධර්මත්රයයකින් යුක්ත වූ මහණ තෙමේ මාරධෙය සඞ්ඛ්යාත ත්රෛභූමක වෘත්තය ඉක්මවා හිරු මෙන් බබලයි. කවර ධර්මත්රයයකින් ද යත්: මහණෙනි, මේ සසුන්හි මහණ තෙමේ අශෛක්ෂ ශීලස්කන්ධයෙන් යුක්ත වේ ද, අශෛක්ෂ සමාධිස්කන්ධයෙන් යුක්ත වේ ද, අශෛක්ෂ ප්රඥාස්කන්ධයෙන් යුක්ත වේ ද,
මහණෙනි, මේ ධර්මත්රයයෙන් යුක්ත වූ මහණ තෙමේ මාරධෙය සඞ්ඛ්යාත ත්රෛභූමික වෘත්තය (සසර) ඉක්මවා හිරු මෙන් බබලයි.
මෙ කරුණ භගවත්හු වදාළහ. එහි මේ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යමකු විසින් මේ ශීලසමාධිප්රඥාවෝ මනා කොට වඩන ලද්දාහු ද (ඒ පුද්ගල තෙමේ) මාරයාගේ විෂයය වූ ත්රෛභූමකවෘත්තය (සසර දුක්) ඉක්මවා හිරු මෙන් බබලයි.”
මේ කරුණ ද භගවත්හු විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
පළමුවන වර්ගය යි.
එහි උද්දානය:
අකුසලමූලය, ධාතුය, වේදනා දෙක ය, ඒසනා දෙක ය, ආසව දෙක ය, තණ්හාය, මාරධෙය්ය යයි මේ උතුම් පළමු වන වර්ගය කීහු.
දුතිය වර්ගය
3. 2. 1.
[පුණ්යක්රියාවස්තු සූත්රය]
60. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, මේ පුණ්යක්රියාවස්තූහු තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් ද යත්: දාන, ශීල, භාවනා ය. මහණෙනි, මේ පුණ්යක්රියාවස්තූහු තිදෙනයහ.
මෙ කරුණ භාග්යවතුන් වහන්සේ වදාළ සේක. එහි මේ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “තමහට වැඩ කැමැති යම් කුලපුත්රයෙක් වේ නම් හේ මතු උතුම් සැප විපාක ඇති තුන් පින්කිරියවත්හි හික්මෙන්නේ ය. දානය ද, සම හැසිරීම ද, මෛත්රීසහගත සිත ද වඩන්නේ ය.
3. සැප අනුසස් ඇති මේ (කුශල) ධර්ම තුන වඩා නුවණැත්තේ නිදුක් වූ සැප ඇති බඹලොව උපදී.”
මෙ කරුණ ද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
3. 2. 2.
[චක්ෂුස් සූත්රය]
61. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලද්දේ ය.
1. මහණෙනි, චක්ෂූස්හු තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් ද යත්: මසැ ස, දිවැස, පැණැස ය. මහණෙනි, මේ චක්ෂූස්හු තිදෙන වෙත්.
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “පුරුෂෝත්තම වූ බුදුරදහු මසැස දිවැස නිරුත්තර වූ පැණැස (යන) තෙ ඇස වදාළහ.
3. මසැසෙහි පැවැත්ම (ඉපැත්ම) දිවැසට කාරණ යි. යම් විටෙක නිරුත්තර ප්රඥාචක්ෂුස වූ ආස්රවක්ෂය ඥානය පහළ වී ද, ඒ ඇස ලැබීමෙන් සියලු දුකින් මිදේ.”
මෙ අරුත ද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.