2. 2. 5.
[ශුක්ලධර්ම සූත්රය]
42. භාග්යවතුන් වහන්සේ විසින් මේ සූත්රය වදාරණ ලද්දේය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේය. මා විසින් මෙසේ අසන ලදි.
1. මහණෙනි, මේ ශුක්ල (කුසල) ධර්මයෝ දෙදෙනෙක් ලොව පාලනය කරත්. කවර දෙදෙනෙක් ද? ලජ්ජාව ද බිය ද (යන දෙක ය.) මහණෙනි, මේ ශුක්ලධර්මයෝ දෙදෙන ලොව පාලනය නොකරන්නාහු නම් මෙහි මව කියා හෝ සුළුමව කියා හෝ නැන්දණියෝ කියා හෝ ගුරුවරයාගේ භාර්ය්යයාව කියා හෝ ගරු කටයුත්තන්ගේ භාර්ය්යයාවෝ ය කියා හෝ තැකීමක් නො පැමිණෙන්නේ ය. ලෝවැසි තෙම එළුබැටළුවන් මෙන් ද, කුකුළන් ඌරන් මෙන් ද, බලු සිවලුන් මෙන් ද, සංකරයට පැමිණෙන්නේ ය. මහණෙනි, යම් හෙයකින් මේ ශුක්ල ධර්මයෝ දෙදෙන ලොව පාලනය කෙරෙත් ද, එහෙයින් මව කියා හෝ සුළුමව කියා හෝ නැන්දණියෝ කියා හෝ ගුරුවරයාගේ භාර්ය්යයාව කියා හෝ ගරු කටයුත්තන්ගේ භාර්ය්යයාවෝ ය කියා හෝ (තැකීමක්) පැණෙන්නේ ය.
මෙ කරුණ භගවත්හු වදාළහ. එහි අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ ද කියනු ලැබේ.
2. “ඉදින් යමකුන්ට ලජ්ජා භය දෙක හැම කල්හි එළඹ සිටියාහු නො වෙත් ද? ඒ කුශල මූලයෙන් බැහැර වූ ඔහු ජාතිජරා මරණයට පැමිණෙන්නෝ වෙත්.
3. යම් කෙනෙකුන්ට වනාහි ලජ්ජා භය දෙක හැම කල්හි මැනවින් එළඹ සිටියාහු ද වැඩුනු බඹසර ඇති ශාන්තගුණ ඇති ඔහු පුනර්භවය ක්ෂය කළෝ නම් වෙත්.“
මේ අර්ත්ථය ද භගවත්හු විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි.
2. 2. 6.
[අජාත සූත්රය]
43. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි:
1. මහණෙනි, (හේතු ප්රත්යයයෙන් හට නොගත් හෙයින්) අජාත නම් වූ, (ඉබේ පහළ නොවූ හෙයින්) අභූත නම් වූ, (කිසිවකින් නොකරණ ලද හෙයින්) අකත නම් වූ, (එහෙයින් ම) අසඞ්ඛත නම් වූ නිවණ ඇත්තේ ය. මහණෙනි, අජාත - අභූත - අකත - අසඞ්ඛත - සඞ්ඛ්යාත නිවණ ඉදින් නොවන්නේ නම්, ජාත - භූත - කත - සඞ්ඛත - සඞ්ඛ්යාත සංස්කාරධර්මයන්ගේ සංසිඳීමෙක් නො පැණෙන්නේ ය. යම් හෙයකින් අජාත - අභූත - අකත - අසඞ්ඛත - නිවණ ඇත්තේ ද, එහෙයින් ජාත - භූත - කත - සඞ්ඛත - සඞ්ඛ්යාත සංස්කාරධර්මයන්ගේ සංසිඳීම පැණේ.
මෙ කරුණ භගවත්හු වදාළහ. එහි මේ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ.
2. “ජාත භුත සමුත්පන්න කත සඞ්ඛත අනිත්ය ලක්ෂණ වූ, ජරාමරණ හා එකට බැඳුනු, රෝගයන්ට කැදැල්ලක් වූ, වහා බිඳෙන සුලු, ආහාර තෘෂ්ණාව ප්රභව කොට ඇති (ඒ උපාදානස්කන්ධ පඤ්චකය) සිත් අලවන්නට සුදුසු නො වේ.
3. ඒ ස්කන්ධපඤ්චකයාගේ නික්මයාම ම ශාන්ත වේ. (ඒ නිර්වාණය) තර්කඥානයට විෂය නො වේ. නිත්ය වේ. අජාත වේ. අසමුත්පන්න වෙයි. අශෝක වෙයි. විරජ වෙයි. පද (ලදයුතු) වෙයි. දුක්ඛනිරෝධ වෙයි. සඞ්ඛාරූපසම වෙයි.(අත්යන්ත) සුඛ වෙයි.
මේ කාරණය ද භගවත්හු විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.