2. 2. 3.
[විද්‍යා සූත්‍රය]
40. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේය. මා විසින් මෙසේ අසන ලදි.
1. මහණෙනි, අකුශල ධර්‍මයන්ගේ රැස් කිරීමට අවිද්‍යා තොමෝ පෙරටු වන්නී ය. අහිරික අනොත්තප්ප දෙක ඒ අනුව පවතී. මහණෙනි, කුශල ධර්‍මයන්ගේ රැස් කිරීමට විද්‍යාව පෙරටු වන්නී ය. හිරි ඔතප් දෙක ඒ අනුව පවතී.
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “මෙ ලොවත් පරලොවත් යම් කිසි දුර්‍ගතීහු වෙත් නම් ඒ සියල්ල අවිද්‍යාව මුල්කොට ඇත්තාහු වෙත් නොලත් දෙය සෙවීම් ලක්‍ෂණ ඊප්සාවය, ලත් දෙයෙහි ඇලීම් ලක්‍ෂණ ලෝභය යන මොවුන් විසින් රැස් කරණ ලද්දාහු වෙත්.
3. යම් හෙයකින් ලාමක ඊප්සා ඇත්තේ පවට ලජ්ජා නැත්තේ ආදර නැත්තේ වේ ද, එහෙයින් පව් රැස් කෙරෙයි. ඒ හේතුවෙන් අපායට යෙයි.
4. එහෙයින් ඡන්‍දය (ඊප්සාව) ද, ලෝභය ද, අවිද්‍යාව ද, සහමුලින් නසන්නා වූ මාර්‍ගවිද්‍යාව උපදවන්නාවූ මහණ තෙමේ සියලු දුර්‍ගතීන් දුරු කරන්නේ ය.”
මෙ කරුණ ද භගවත්හු විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි.
පළමුවන බණවරයි
2. 2. 4.
[ප්‍රඥාපරිහාන සූත්‍රය]
41. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේය. මා විසින් මෙසේ අසන ලදි.
1. “මහණෙනි, ආර්‍ය්‍ය (විදර්‍ශනාඥාන මාර්‍ගඥාන) ප්‍රඥාවෙන් යම් කෙනෙක් පිරිහුනාහු වෙත් ද, ඔහු (ලොවි ලොවුතුරා සැපතින්) මොනවට පිරිහුනාහු වෙති. ඔහු මේ අත්බැව්හි ම පීඩා සහිත වූ, දැඩි වෙහෙස ඇති, දැවීම් සහිත වූ දුකින් වාසය කෙරෙත්. ඔවුන් විසින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු දුගතිය කැමැති විය යුතු වේ. මහණෙනි, යම් කෙනෙක් ආර්‍ය්‍ය (විදර්‍ශනා, මාර්‍ගසඞ්ඛ්‍යාත) ප්‍රඥාවෙන් නො පිරිහුනාහු වෙත් ද; (ඔහු සියලු සැපතින්) නොපිරිහුනාහු නම් වෙත්. ඔහු මේ අත්බැව්හි ම පීඩා රහිත වූ, දැඩි වෙහෙස නැති, දැවීම් රහිත වූ සැපයෙන් වෙසෙත්. ශරීරයාගේ බිඳීම සඞ්ඛ්‍යාත මරණින් මතු (ඔවුන් විසින්) සුගතිය කැමැති විය යුතු වේ.
මෙ කරුණ භගවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ.
2. “නුවණින් පිරිහීම් නිසා නාමරූප සඞ්ඛ්‍යාත පඤ්චස්කන්‍ධයෙහි තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් බැස ගත් සදේවක ලෝකයා බලවු. (එබඳු පුද්ගල තෙම) මෙය ම ඇත්ත ය (සෙසු සියල්ල හිස්යැ යි) සිතයි.
3. යම් ඒ ප්‍රඥාවක් නිර්වේදගාමිනී (ලෝභාදිකේලේස් සිඳලන්නී) වේ ද, යම් බඳු ප්‍රඥාවකින් උත්පත්ති කර්‍මභවයන්ගේ ක්‍ෂය කිරීම් සඞ්ඛ්‍යාත නිර්‍වාණය හා අර්‍හත්‍වය මැනවින් ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද, එ විදසුන් සහිත මඟනුවණ ම ශ්‍රේෂ්ඨ වන්නේ ය.
4. දෙවියෝ ද, මිනිස්සු ද, සිහියෙන් යුක්ත වූ හාස ප්‍රඥා ඇති අන්තිම සිරුර දරණ ඒ සම්බුදුවරයන්ට කැමැති වෙත්.”
මෙ කරුණ ද භගවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදි.
2. 2. 5.
[ශුක්ලධර්‍ම සූත්‍රය]
42. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේය. මා විසින් මෙසේ අසන ලදි.
1. මහණෙනි, මේ ශුක්ල (කුසල) ධර්‍මයෝ දෙදෙනෙක් ලොව පාලනය කරත්. කවර දෙදෙනෙක් ද? ලජ්ජාව ද බිය ද (යන දෙක ය.) මහණෙනි, මේ ශුක්ලධර්‍මයෝ දෙදෙන ලොව පාලනය නොකරන්නාහු නම් මෙහි මව කියා හෝ සුළුමව කියා හෝ නැන්දණියෝ කියා හෝ ගුරුවරයාගේ භාර්‍ය්‍යයාව කියා හෝ ගරු කටයුත්තන්ගේ භාර්‍ය්‍යයාවෝ ය කියා හෝ තැකීමක් නො පැමිණෙන්නේ ය. ලෝවැසි තෙම එළුබැටළුවන් මෙන් ද, කුකුළන් ඌරන් මෙන් ද, බලු සිවලුන් මෙන් ද, සංකරයට පැමිණෙන්නේ ය. මහණෙනි, යම් හෙයකින් මේ ශුක්ල ධර්‍මයෝ දෙදෙන ලොව පාලනය කෙරෙත් ද, එහෙයින් මව කියා හෝ සුළුමව කියා හෝ නැන්දණියෝ කියා හෝ ගුරුවරයාගේ භාර්‍ය්‍යයාව කියා හෝ ගරු කටයුත්තන්ගේ භාර්‍ය්‍යයාවෝ ය කියා හෝ (තැකීමක්) පැණෙන්නේ ය.