2. 2. 10.
[ජාගර්ය සූත්රය]
47. භගවත් බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් අසන ලදී.
1. මහණෙනි, මහණ තෙමේ (කමටහන් මෙනෙහි කිරීමෙන්) නිදි දුරු කෙළේ, එළඹ සිටි සිහි ඇත්තේ, සම්යක්ප්රඥා ඇත්තේ, එකඟ වූ සිත් ඇත්තේ, ප්රමුදිත වූයේ, ප්රසන්න වූයේ, කුශලධර්ම විදර්ශනායෙහි කාලානුරූප වැ යෙදී වාසය කරන්නේ වේ ද, මහණෙනි, නිදි දුරුකළා වූ, එළඹ සිටි සිහි ඇති, සම්යක්ප්රඥා ඇති, එකඟ සිත් ඇති, ප්රමුදිත වූ, ප්රසන්න වූ ඒ කුශලධර්ම විදර්ශනායෙහි කාලානුරූප ව යෙදෙන භික්ෂුහු විසින් මේ අත්බැව්හි රහත් බව ද, කෙලෙස් උපාදිශේෂය ඇති කල්හි අනාගාමි බව ද යන ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයක් කැමැති විය යුතු.
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “නිදි වර්ජජිත කිරීමෙහි යෙදුනාහු තෙපි මේ වචනය අසවු: යම් කෙනෙක් නිද්රාවට ගියාහු ද ඒ තෙපි පිබිදෙවු. නිදීමට වඩා නිදි වැරීම ශ්රේෂ්ඨය. නිදි වරන්නාට (අත්තානුවාදී) බියෙක් නැත්තේ ය.
3. යමෙක් නිදි දුරු කෙළේ, සිහි ඇත්තේ, සම්යක්ප්රඥා ඇත්තේ, එකඟ සික් ඇත්තේ, ප්රමුදිත වූයේ, විප්රසන්න වූයේ, සුදුසු කල්හි බෝධිපාක්ෂික ධර්මයන් හාත්පසින් විමසා බලන්නේ, හටගත් ශ්රේෂ්ඨ සමාධි ඇත්තේ වේ ද, හෙ තෙමේ මොහඳුර නසන්නේ වේ.
4. එසේ හෙයින් ඒකාන්තයෙන් නිදි වැරීම භජනය කරවු. කෙලෙස් තවන වීර්ය්යය ඇති, ප්රඥාසම්පන්න ධ්යානලාභී භික්ෂු තෙමේ මේ අත්බැව්හි ම ජාතිජරාවන් පිළිබඳ සංයෝජනයන් නසා නිරුත්තර වූ සම්යක්සම්බෝධිය ස්පර්ශ කරන්නේ ය. (ලබන්නේ යි.)
මේ කාරණය ද භගවත්හු විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
2. 2. 11.
[ආපායික සූත්රය]
48. භගවත් බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, මේ (කියනු ලබන දෙවැදෑරුම් පාපසමාචාර) අත් නොහැර අපායේ උපදින නිරයේ උපදින මේ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක් ද යත්: යමෙක් බ්රහ්මචාරී නොවූයේ බ්රහ්මචාරී වෙමි යි ප්රතිඥා කෙරේ ද, යමෙකුත් පිරිසිදු බඹසර හැසිරෙන්නහුට අමූලික ග්රාමධර්මයෙන් දැන දැන චෝදනා කෙරේ ද, මහණෙනි, මෙය අත් නොහැර අපායේ උපදින නිරයේ උපදින මේ දෙදෙන වෙත්.
මෙ කරුණ භගවත්හු වදාළහ. එහි මේ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. බොරු කියන සුලු පුද්ගල තෙමේ ද, යලි පව්කම් කොට මම නො කෙළෙමි යි කියන පුද්ගල තෙමේ ද නරකයට පැමිණෙති. ලාමක ක්රියා ඇති ඒ මිනිස් දෙදෙනා ම මෙයින් සැව ගොස් පරලොවදී සමාන ගති ඇත්තෝ වෙත්.
3. කාෂාචකණ්ඨ (කසාවතකින් කර වෙළාගත්) පවිටුගති ඇති, හොඳ හැසුරුමක් නැති පවිටු පුද්ගලයෝ බොහෝ වෙත්. ඒ පවිටෝ (තමන් කළ) පව්කම් හේතුවෙන් නරකයෙහි උපදිත්.
4. කායවාක්සංයම නැති දුශ්ශීලයෙක් යම් හෙයකින් රටවැසියා දුන් අහර වළඳන්නේ වේ ද, ඔහු විසින් රත්කළ ගිනිසිළක් බඳු වූ ලෝගුළියක් වළඳන ලද්දේ එයට වඩා උතුම් වේ.
මේ කාරණය ද භගවත් බුදුරදුන් විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
2. 2. 12.
[දෘෂ්ටිගත සූත්රය]
49. භගවත් බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් අසන ලදී.
1. මහණෙනි, දෘෂ්ටි ද්වයකින් (මිථ්යාදර්ශන දෙකෙකින්) මඬනා ලද ඇතැම් දෙවි මිනිස් කෙනෙක් (ලෝකය ශාශ්වත යයි භවයෙයි) ඇලෙත්. ඇතැම් දෙව්මිනිස් කෙනෙක් (ආත්මයත් ලෝකයත් මරණින් මතු නැතැ යි උච්ඡේද වශයෙන් ගෙණ ධර්මතා) ඉක්මවා දුවත්. නුවණැස් ඇත්තෝ වනාහි (මෙ කී අන්ත දෙකටම නො පැමිණ අවිපරීත වශයෙන් ඇතිසැටියෙන්) දකිත්.
2. මහණෙනි, ඇතැම් දෙවි මිනිස් කෙනෙක් කෙසේ නම් භවයෙහි ඇලෙද්ද?
මහණෙනි, දෙව්මිනිස්සු භවයෙහි ඇලුනාහු, භවයෙහි නිරත වූවාහු, භවයෙහි මැනැවින් සතුටු වූවාහු වෙත් ද, ඔවුන්ට භවනිරෝධය පිණිස දහම් දෙසනු ලබන කල්හි සිත එහි බැස නො ගණී, නො පහදියි, නො පිහිටයි, නිමාවට නො පැමිණෙයි. මහණෙනි, මෙසේ ඇතැම් කෙනෙක් භවයෙහි ඇලෙත්.