2. 1. 9.
[දෙවෙනි ජනකුහන සූත්රය]
36. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි.
1. මහණෙනි, මේ මාර්ගබ්රහ්මචර්ය්යය (නොහොත් ශාසනබ්රහ්මචර්ය්යය) ‘ජන තෙමේ මා මෙසේ දනීවා’යි ජනයා විස්මය පත් කරණු පිණිස, ජනයා ලවා සිය ගුණ කියවා ගනු පිණිස, ලාභසත්කාර කීර්ති සඞ්ඛ්යාත අනුසස් පිණිස නො වසනු ලැබේ. මහණෙනි, වැලිදු මේ බ්රහ්මචර්ය්යයන් සර්වධර්මයන් විශිෂ්ටඥානයෙන් අවිපරීත ලෙස දැන ගණු පිණිස ද ත්රෛභූමක ධර්මයන් පිරිසිඳ දැන ගණු පිණිස ද වසනු ලැබේ.
බුදුහු මෙ කරුණ වදාළහ. එහි මේ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “ඒ භාග්යවතුන් වහන්සේ සර්වධර්මයන් ඇති සැටියෙන් විශිෂ්ටඥානයෙන් දැන ගණු පිණිස, ත්රෛභූමකධර්මයන් පිරිසිඳ දැන ගණු පිණිස ශඞ්කාරහිත වූ නොහොත් උවදුරු රහිත වූ නිවණට පමුණුවන මාර්ගබ්රහ්මචර්ය්යය දේශනා කළ සේක.
3. මේ මාර්ගය උදාර අදහස් ඇති, බුද්ධාදි මහාත්මයන් විසින් අනුගමනය කරණ ලද්දේ ය. බුදුරදුන් විසින් දේශනා කරණ ලද පරිදි යම් කෙනෙක් මේ මාර්ගබ්රහ්මචර්ය්යය පිළිපදිත් ද, ශාස්තෘශාසනය කරන්නා වු (ඔහු තුමූ) සසර දුක් කෙළවර කරන්නාහ.”
මෙ කරුණ ද භගවත්හු විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදි.
2. 1. 10.
[සෝමනස්ස සූත්රය]
37. භගවත්හු විසින් මේ සූත්රය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, කරුණු දෙකෙකින් යුක්ත වූ මහණ තෙමේ මේ අත්බව්හි ම (කායික චෛතසික වූ) සුව සොම්නස් බහුල ව වෙසේ. ඔහු විසින් ආස්රවයන් ක්ෂය කිරීම සඳහා (අර්හත්ඵලයට අවශ්ය) කාරණය පටන් ගන්නා ලද්දේ නම් වෙයි. කවර නම් දෙකෙකින් ද යත්: සංවේගයට වස්තු වූ තන්හි සංවේගයෙන් ද, සංවේගයට පැමිණියහුගේ සම්යක් ව්යායාමයෙන් ද (යන දෙකෙනි.) මහණෙනි, මේ ධර්ම දෙකින් යුක්ත වූ මහණ තෙමේ මේ අත්බැව්හි ම සුවසොම්නස් බහුල ව වෙසේ. ඔහු විසින් අර්හත්ඵලය සඳහා අවශ්ය කාරණය පටන් ගන්නා ලද්දේ නම් වේ.
බුදුහු මෙ කරුණ වදාළහ. මේ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “කෙලෙස් තවන වීර්ය්යය ඇති පාරිහාරික ප්රඥාවෙන් යුක්ත වූ නුවණැති මහණ තෙමේ නුවණින් මොනවට බලා සංවේගයට පැමිණිය යුතු තන්හි සංවේගයට පැමිණේ ම ය.
3. මෙසේ වාසය කරණ කෙලෙස් තවන වීර්ය්යය ඇති, යහපත් පැවතුම් ඇති, වික්ෂිප්ත නො වූ, චිත්තසමථයෙහි යෙදුනු භික්ෂු තෙමේ දුක්ඛක්ඛය සඞ්ඛ්යාත නිවණට පැමිණෙන්නේ ය.
මේ අර්ත්ථය ද භගවත්හු විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
ප්රථම වර්ගය යි.
එහි උද්දානය:
(අගුත්තද්වාරින්ද්රිය - ගුත්තද්වාරින්ද්රිය) ය භික්ෂු සූත්ර දෙක, තපනීය අතපනීය දෙක, පාපකසීල භද්දකසීල යන දෙක, අනාතාපීය, ජනකුහන (බ්රහ්මචරිය - අභිඤ්ඤත්ථබ්රහ්මචරිය) දෙක ද, සෝමනස්ස (බහුලය) යන ඒ සූත්ර දසය යි.