2. 1. 10.
[සෝමනස්ස සූත්රය]
37. භගවත්හු විසින් මේ සූත්රය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, කරුණු දෙකෙකින් යුක්ත වූ මහණ තෙමේ මේ අත්බව්හි ම (කායික චෛතසික වූ) සුව සොම්නස් බහුල ව වෙසේ. ඔහු විසින් ආස්රවයන් ක්ෂය කිරීම සඳහා (අර්හත්ඵලයට අවශ්ය) කාරණය පටන් ගන්නා ලද්දේ නම් වෙයි. කවර නම් දෙකෙකින් ද යත්: සංවේගයට වස්තු වූ තන්හි සංවේගයෙන් ද, සංවේගයට පැමිණියහුගේ සම්යක් ව්යායාමයෙන් ද (යන දෙකෙනි.) මහණෙනි, මේ ධර්ම දෙකින් යුක්ත වූ මහණ තෙමේ මේ අත්බැව්හි ම සුවසොම්නස් බහුල ව වෙසේ. ඔහු විසින් අර්හත්ඵලය සඳහා අවශ්ය කාරණය පටන් ගන්නා ලද්දේ නම් වේ.
බුදුහු මෙ කරුණ වදාළහ. මේ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “කෙලෙස් තවන වීර්ය්යය ඇති පාරිහාරික ප්රඥාවෙන් යුක්ත වූ නුවණැති මහණ තෙමේ නුවණින් මොනවට බලා සංවේගයට පැමිණිය යුතු තන්හි සංවේගයට පැමිණේ ම ය.
3. මෙසේ වාසය කරණ කෙලෙස් තවන වීර්ය්යය ඇති, යහපත් පැවතුම් ඇති, වික්ෂිප්ත නො වූ, චිත්තසමථයෙහි යෙදුනු භික්ෂු තෙමේ දුක්ඛක්ඛය සඞ්ඛ්යාත නිවණට පැමිණෙන්නේ ය.
මේ අර්ත්ථය ද භගවත්හු විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
ප්රථම වර්ගය යි.
එහි උද්දානය:
(අගුත්තද්වාරින්ද්රිය - ගුත්තද්වාරින්ද්රිය) ය භික්ෂු සූත්ර දෙක, තපනීය අතපනීය දෙක, පාපකසීල භද්දකසීල යන දෙක, අනාතාපීය, ජනකුහන (බ්රහ්මචරිය - අභිඤ්ඤත්ථබ්රහ්මචරිය) දෙක ද, සෝමනස්ස (බහුලය) යන ඒ සූත්ර දසය යි.
දෙවෙනි වර්ගය
2. 2. 1.
[විතර්ක සූත්රය]
38. භාග්යවතුන් වහන්සේ විසින් මේ සූත්රය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලද්දේ ය.
1. මහණෙනි, තථාගත අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේට විතර්කයෝ දෙදෙනෙක් බහුලව පවතිත්: ක්ෂේම විතර්කය, ප්රවිවේක විතර්කය (යන දෙකයි). මහණෙනි, තථාගත තෙමේ අවිහිංසාවේ ඇලුනේ ද, අවිහිංසාවෙහි නිරත වූයේ ද වෙයි. මහණෙනි, අවිහිංසාවෙහි ඇලුනා වූ, අවිහිංසාවෙහි නිරත වූ, ඒ මේ තථාගතයන්ට මේ විතර්කය බහුල ව පවතී: “මම මේ ක්රියාවෙන් (කායවාක් ප්රයෝගයෙන්) (තෘෂ්ණාප්රහීණ නොකළ) තස නම් වූ හෝ (තෘෂ්ණා ප්රහීණ කළ) ථාවර නම් වූ හෝ කිසිවකු නො පෙළමි” කියා යි. මහණෙනි, තථාගත තෙමේ උතුම් විවේකයෙහි ඇලුනේ ද, උතුම් විවෙක යෙහි නිරත වූයේ වෙයි. මහණෙනි, උතුම් විවේකයෙහි ඇලුනා වූ, උතුම් විවෙයෙහි නිරත වූ ඒ මේ තථාගතයන්ට මේ විතර්කය බහුලව පවතී: “යමක් අකුසල් වේ ද එය ප්රහීණය” කියා යි.
2. මහණෙනි, එසේ හෙයින් තෙපි දු අවිහිංසාවෙහි ඇලුනාහු අවිහිංසාවෙහි නිරතවූවාහු වාසය කරවු. මහණෙනි, අවිහිංසාවෙහි ඇලී අවිහිංසාවෙහි නිරත ව වෙසෙන ඒ තොපට මේ විතර්කය ම බහුල ව පවත්නේ ය: “අපි මේ ක්රියාවෙන් (කායවාක් ප්රයෝගයෙන්) තස නම් වූ හෝ ථාවර නම් වූ හෝ කිසිවකු නො පෙළමු” කියායි. මහණෙනි, උතුම් විවේකයෙහි ඇලුනාහු උතුම් විවේකයෙහි නිරත වූවාහු වාසය කරවු. මහණෙනි, උතුම් විවේකයෙහි නිරතව වෙසෙන ඒ තොපට මේ විතර්කය බහුලව පවත්නේ ය: “අකුසල් කිම? කුමක් අප්රහීණ ද? කුමක් දුරු කරමු ද?” කියා යි.
බුදුහු මෙ කරුණ වදාළහ. එහි මේ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
3. “අන්යයන් විසින් නො ඉවසිය හැකි දෑ ඉවසන සුලු වූ, තථාගත බුදුරදුන්ට විතර්කයෝ දෙදෙනෙක් පවතිත්: පළමුව ක්ෂේම විතර්කය කියන ලදී. ඉක්බිති දෙවනු ව ප්රවිවේක විතර්කය ප්රකාශ කරන ලදී.
4. මොහඳුරු දුරු කළා වූ, පාර සඞ්ඛ්යාත නිවණට ගියා වූ, (පැමිණිය යුතු සියල්ලට පැමිණි හෙයින්) පත්තිපන්න වූ, සිත් වසඟ බැව් ඇති, ආස්රව රහිත වූ (සියලු සසර දුකින් එතෙර ව සෙස්සන් ද එතෙර කළ හෙයින්) විශ්වන්තර වූ, අර්හත් ඵල විමුක්තියෙන් මිදුනා වූ, පශ්චිමකායධාරී වූ, කෙලෙස් මරුන් දුරු කළා වූ, ජරාවගේ පරතෙරට පත් ඒ තථාගතයන්ට සම්යක් විතර්කයෝ දෙදෙනෙක් පවතිත් යැ යි කියමි.
5. ඒකඝනවූ ගල් පර්වතයක් මුදුනෙහි සිටියෙක් හාත්පස ජනසමූහයා යම් සේ දකී ද, එසේ සුන්දර ප්රඥා ඇත්තාවූ, සමතැස් ඇත්තා වූ, පහ වූ ශෝක ඇති බුදුරජානන් වහන්සේ ඒ සෙල්පව්වට උපමා වූ දහම් පහය නැඟ ජාති ජරාවෙන් මඩනා ලද ශෝකයෙහි ගැලුනු ජනසමූහයා බලන සේක.
මේ කරුණ ද භාග්යවත්හු විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.