1. 3. 7.
[මෙත්තා චේතෝවිමුත්ති සූත්‍රය]
27. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි.
1. මහණෙනි, උපධි සම්පතට (අත්බැව් සපුවට) හිතවූ යම් ඒ පින්කිරියවත්හු වෙත් නම්, ඒ සියල්ල මෛත්‍රීචිත්තවිමුක්තියගේ සොළොස් වන කලාවකුදු නො වටී. ඒ පින් කිරිය වත් මැඩ පවත්වා මෛත්‍රීචිත්තවිමුක්තිය ම දිලිසෙයි, විරුද්ධ ධර්‍මයන් තවයි, බබලයි. මහණෙනි, තාරකාවන්ගේ යම් ප්‍රභායෙක් වේ නම් යම් සේ එය සඳපහනින් සොළොස් වන කලාවකුදු නො වටී ද, ඒ තරු එළිය මැඩ පවත්වා සඳ එළිය ම දිලිසේ ද, අඳුරු නසා ද, බබළා ද, මහණෙනි, එ පරිද්දෙන් ම ඔපධික වූ යම් ඒ පින්කිරිය වත්හු වෙත් නම්, ඒ සියල්ල මෛත්‍රීචිත්තවිමුක්තියගේ සොළොස් වන කලාවකුදු නො අගී. ඒ පින්කිරියවත් මැඩ පවත්වා මෛත්‍රීචිත්තවිමුක්තිය ම දිලිසෙයි, විරුද්ධ ධර්‍මයන් තවයි, බබලයි.
2. මහණෙනි, යම් සේ වස්සාන ඍතුවෙහි කෙළවර ඉල් මස සරත් කාලයෙහි හෙළි වූ, විසුරුණු වැහි වලාකුළු ඇති, පහ වූ වලාකුළු ඇති, අහසෙහි සූර්‍ය්‍යයා ගමන් කරන්නේ අහසෙහි වූ සියලු අඳුරු මැඩ පවත්වා දිලිසේ ද, අඳුරු නසා ද, බබළා ද, මහණෙනි, එ පරිද්දෙන් ම උපධි සම්පතට කරුණු වූ යම් ඒ පින්කිරියවත්හු වෙත් නම්, ඒ සියල්ල මෛත්‍රීචිත්තවිමුක්තියගේ සොළොස් වන කලාවකුදු නො අගී. ඒ පින්කිරියවත් මැඩ පවත්වා මෛත්‍රීචිත්තවිමුක්තිය ම දිලිසෙයි, විරුද්ධ ධර්‍මයන් තවයි, බබලයි. මහණෙනි, යම් සේ රෑ පැසුලුයම්හි (අලුයම්හි) දහවත් තරුව දිලිසේ ද, අඳුරු නසා ද, බබළා ද, මහණෙනි, එ පරිද්දෙන් ම උපධි සම්පතට කරුණු වු යම් ඒ පින්කිරියවත්හු වෙත් නම්, ඒ සියල්ල මෛත්‍රීචිත්තවිමුක්තියගේ සොළොස් වන කලාවකුදු නො අගී. ඒ පින්කිරියවත් මැඩපවත්වා මෛත්‍රීචිත්තවිමුක්තිය ම දිලිසෙයි, විරුද්ධ ධර්‍මයන් තවයි, මැඩ බබලයි.
මේ කාරණය භගවත්හු වදාළහ. එහි මේ අර්‍ත්‍ථය ගාථා වශයෙන් මෙසේ කියනු ලැබේ:
3. “යම් ගිහියෙක් හෝ පැවිද්දෙක් එළඹ සිටි සිහි ඇත්තේ මෛත්‍රී ධ්‍යානය අප්‍රාමාණ්‍ය වශයෙන් වඩා ද, නිර්‍වාණය දක්නා වු ඔහුගේ සඤ්ඤෝජනයෝ තුනී වෙත්.
4. ඉදින් එක් ප්‍රාණියකුකෙරෙහි දූෂිත නො වූ සිතින් යුතු ව මෙත් කෙරේ ද, ඒ හේතු කොට ගෙණ හෙ තෙමේ මහ පින් ඇත්තෙක් වේ. සියලු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පාවෙන් යුත් ආර්‍ය්‍ය තෙමේ බොහෝ පින් කරන්නේ ය යනු කියනු ම කිම?
5-6. මිනිසුන්ගෙන් ගැවැසී ගත්තා වූ මහ පොළොව ජය ගත් ඍෂීන් වැනි යම් දැහැමි රජ කෙනෙක් වූ ද (ඔහු) අස්සමේධ, පුරිසමේධ, සම්මාපාස, වාජපෙය්‍ය, නිරග්ගළ යන යාගයන් කරමින් හැසුරුණාහු ද, ඒ යාග මනා කොට වඩන ලද මෙත් සිතින් ලැබෙන පිණින් සොළොස් වන කලාවකුදු නො අගී. සියලු තරු සඳපහනින් සොළොස් වන කලාවකුදු අගනාක් මෙනි.
7. යමෙක් තෙමේ කිසිවකුට හිංසා නො කෙරේ ද, අනුන් ලවා හිංසා නො කරවා ද, කිසිවකු නො පරදවා ද, අනුන් ලවා අනෙකකුට හානි නොකරවා ද, සියලු සතුන් කෙරෙහි මෛත්‍රියෙහි අංශයක් බඳු වේ ද ඕහට කිසිකරුණෙකිනුත් (නොහොත් කිසිවකු හා ද) වෛරයක් නැත්තේ ය.
භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අර්‍ත්‍ථය ද වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
තුන්වැනි වර්‍ගයයි.
එහි උද්දානය:
පසන්නචිත්ත, මාපුඤ්ඤභායී, උභො අත්‍ථ, අට්ඨිපුඤ්ජ, සම්පජානමුසාවාද, දානසංවිභාග, මෙත්තාචෙතොවිමුත්ති යන සත ද පළමු කී විස්ස දැයි සත්විසි සූත්‍රාන්තයෝ ඒකක නිපාතයේ සඞ්තෘහීත වෙත්:
ඒකකනිපාතය නිමියේ ය.
දුක නිපාතය
ප්‍රථම වර්‍ගය
2. 1. 1.
[පඨමභික්ඛු සූත්‍රය]
28. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරරදුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, අකුශලධර්‍ම දෙකෙකින් යුක්තවූ මහණ තෙමේ මේ අත් බව්හිම (කායචිත්ත) පීඩාසහිත වූ, දැඩි වෙහෙස සහිත වූ, දැවීම් සහිත වූ දුකින් යුක්ත ව වෙසෙයි. ඔහු විසින් මරණින් මතු දුගතිය කැමැති විය යුතු වෙයි. කවර ධර්‍ම දෙකෙකින් ද යත්: ඉන්‍ද්‍රිය විෂයයෙහි අසංවර බැවිනුත්, අහරෙහි පමණ නොදන්නා බැවිනුත් ය. මහණෙනි, මේ අකුශල ධර්‍ම දෙකින් යුක්ත වූ මහණ තෙමේ මේ අත් බව්හිම පීඩා සහිත වූ, දැඩි වෙහෙස සහිත වූ, දැවීම් සහිත වූ දුකින් යුතු ව වෙසෙයි. මරණින් මතු (ඔහු විසින්) දුගතිය කැමැති විය යුතු වෙයි.
මෙ කරුණ බුදුහු වදාළහ. එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ ද කියනු ලැබේ.
2-3. “මේ ශාසනයෙහි යම් කිසි මහණකුගේ ඇස කණ නැහැය දිව කය සිත යන මේ දෙරවල් නොවසන ලද ද, අහරෙහි පමණ නොදන්නා වූ ඉන්‍ද්‍රියයන්හි නොවැසූ දොර ඇති ඒ මහණ තෙමේ කය සිත පිළිබඳ සර්‍වප්‍රකාර දුකට පැමිණේ.
4. එබඳු පුද්ගල තෙමේ කායික චෛතසික දුක් නැමැති ගින්නෙන් දැවෙමින් දිවා රෑ දෙක්හි ම දුක සේ වාසය කෙරෙයි.”
භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අර්‍ත්‍ථය ද වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදී.