1. 3. 2.
[මාපුඤ්ඤභායී සූත්‍රය]
22. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, පිණට බිය නො වවු. මහණෙනි, මේ පින් යනු යහපත් වූ සිත්කලු වූ ප්‍රිය වූ මන වඩන්නා වූ සැපයට නමෙකි. මහණෙනි, බොහෝ කලක් මුළුල්ලෙහි (මා විසින්) කරන ලද පුණ්‍යකර්‍මවල යහපත් වූ සිත්කලු වූ ප්‍රිය වූ මන වඩන්නා වූ ප්‍රතිඵල වළඳන ලදැ යි මම හොඳින් දනිමි. සත් වසක් මෙත් සිත වඩා (සංවර්‍ත විවර්‍ත) මහාකල්ප සතක් මුළුල්ලෙහි මේ කාම ලෝකයට පෙරළා නො ආයෙමි. මහණෙනි, කල්පය වැනැසෙන කල්හි ආභස්සර නම් බඹලොවට යන්නෙම් වෙමි. කල්පය හට ගන්නා කල්හි හිස්වූ (ප්‍රථමධ්‍යාන භූමි සඞ්ඛ්‍යාත) බ්‍රහ්ම විමානයෙක උපදිමි. මහණෙනි, මම එහි (බඹ විහරණයෙන් උපන් හෙයින් ) බ්‍රහ්මයා වෙමි. (බ්‍රහ්ම පාරිසද්‍ය බ්‍රහ්ම පුරෝහිතයනට වඩා ශ්‍රේෂ්ඨ හෙයින්) මහාබ්‍රහ්ම වෙමි. කිසිවකු විසින් මැඩ පැවැත්වියැ නො හැකි වෙමි. කිසි යම් ගුණයෙකිනුදු කිසිසේත් මැඩ පැවැත්විය නො හැකි වෙමි. තුන් කල් දත්තෙම් වෙමි. සෙස්සන්ගේ සිත් තමාගේ වශයෙහි පවත්වන්නෙම් වෙමි. මහණෙනි, මම සතිස් වරක් දෙවියනට අධිපති වූ ශක්‍රයා වීමි. නොයෙක් සියගණන් වාරයන්හි ධාර්මික වූ, ධර්‍මරාජන් වූ, සතර මහා ද්වීපයට අධිපති වූ, සතුරන් ජය ගන්නා වූ ජනපදයන්හි ස්ථිරභාවයට පත් වූ, සත් රුවනින් යුක්ත වූ සක්විති රජ වීමි. ප්‍රදේශ රාජ්‍යලාභය ගැන කියනුම කවරේ ද? මහණෙනි, ඒ මට “මේ මගේ කවර කර්‍මයෙක ප්‍රතිඵලයෙක් ද? යම් හෙයකින් මම දැන් මෙසේ මහත් ඍද්ධි ඇත්තෙම් නම්, මහානුභාව ඇත්තෙම් නම්, ඒ කවර කර්‍මයෙක විපාකයෙක් දැ?”යි මෙ බඳු සිතෙක් විය. මහණෙනි, ඒ මට “යමක් හේතු කොට ගෙණ මම දැන් මෙසේ මහත් ඍද්ධි ඇත්තෙම් ද, මෙසේ මහානුභාව ඇත්තෙම් ද, එය මා විසින් කරන ලද මේ පින්කම් තුනේ ප්‍රතිඵලය යි. ඒ කවරේද? යත්: දානය, ඉන්‍ද්‍රිය දමනය, කායවාක් සංවරය යන තුන යැ” යි මේ සිත විය.
බුදුහු මේ කාරණය වදාළහ. ඒ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යමෙක් තමහට වැඩ කැමැති නම්, හෙ තෙමේ මහත් ඵල ඇති, සැප විපාක ගෙණ දෙන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාව ම සම්පූර්‍ණ කරන්නේ ය. දානය ද (සමචර්‍ය්‍යා නම් වූ) ශීලය ද, මෙත් සිත ද වඩන්නේ ය.
3. නුවණැති මනුෂ්‍ය තෙමේ මේ ත්‍රිවිධ ධර්‍මයන් සම්පූර්‍ණ කොට දුක් රහිත වු බ්‍රහ්ම ලෝකයට පැමිණෙන්නේ ය.“
භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අර්‍ත්‍ථය ද වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදී.
1. 3. 3.
[උභො-අත්‍ථ සූත්‍රය]
23. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී:
1. මහණෙනි, එක් ධර්‍මයෙක් වඩන ලද්දේ නැවැත නැවැත පුරුදු කරණ ලද්දේ මෙලොව යහපත පරලොව යහපත යන උභය ලෝකාර්‍ත්‍ථසිද්ධිය අත් නොහැර පවතී. කවර එක් ධර්‍මයෙක් ද යත්: කුශලධර්‍මයන් කෙරෙහි සිහිය එළැවීම යි. මහණෙනි, මේ එක ම ධර්‍මය වඩන ලද්දේ නැවැත නැවැත පුරුදු කරණ ලද්දේ මෙලොව යහපත පරලොව යහපත යන උභය ලෝකාර්‍ත්‍ථසිද්ධිය අත් නොහැර පවත්නේ යි.
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ඒ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “පුණ්‍යක්‍රියා විෂයයෙහි සිහිය එළවීම පඬිවරු පසසත්. සිහි ඇති පණ්ඩිත තෙමේ දෙලොව යහපත වෙසෙසින් සලසා ගනී.
3. මෙලොව දී ලැබිය යුතු යම් අභිවෘද්ධියෙක් වේ නම් එය ද, පරලොව දී ලැබිය යුතු යම් අභිවෘද්ධියෙක් ඇත් නම් එය ද යන දෙලොවෙහි අභිවෘද්ධිය ලැබීම හේතු කොට ගෙණ ඒ නැණවත් පුද්ගල තෙමේ පණ්ඩිතයෙක් යැ යි කියනු ලැබේ.“
භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අර්‍ත්‍ථය වදාරණ ලදී. මවිසින් මෙසේ අසන ලදි.
1. 3. 4.
[අට්ඨිපුඤ්ජ සූත්‍රය]
24. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මවිසින් මෙසේ අසන ලදි:
1. මහණෙනි, මහා කල්පයක් තුළ සසර ඇවිදින්නා වූ, ඒ ඒ භවයෙහි හැසිරෙන්නා වූ සත්ත්‍වයකුගේ ඇටගොඩ, අස්ථිපුඤ්ජය, ඇටරැස ඉදින් එක් රැස් කරණ ලද්දේ නො නැසී පවත්නේ නම්, එය මේ වේපුල්ල පර්‍වතය සෙයින් මහත් වන්නේ ය.
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ඒ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2-3. “මගධ රට ගිරිබ්බජ නම් වූ රජගහ නුවර සමීපයෙහි වූ ගිජුකුළු පව්වට උතුරින් පිහිටි ඒ මේ වේපුල්ල පර්‍වතය (රජගහ නුවර පිරිවරා සිටි කඳු පහ අතුරින්) මහත් යැ යි කියනු ලැබේ. එක් කපක් තුළ රැස් කරණ ලද එක් පුද්ගලයකුගේ ඇට සමූහය ඒ වේපුල්ල පර්‍වතයට සම වේ යැ යි මහර්ෂී වූ බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලදී.
4-5. “යම් කලෙක පටන් පුද්ගල තෙමේ දුක ය, දුක ඉපදීමට හේතුවය, දුක් නැති කිරීමය, දුක් නැති කිරීමේ මාර්‍ගය යන ආර්‍ය්‍ය සත්‍යයන් සම්‍යක්ප්‍රඥාවෙන් දකී ද, හෙතෙමේ සත් වර හිම් කොට (භවයෙහි) ඔබ මොබ හැසිර සියලු සඤ්ඤෝජනයන් ක්‍ෂය කිරීමෙන් දුක් කෙළවර කරන්නේ වෙයි.”
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මවිසින් මෙසේ අසන ලදී.