1. 2. 1.
[මෝහපරිඤ්ඤා සූත්‍රය]
11. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය හෙළි කොට වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි:
1. මහණෙනි, මෝහය විශිෂ්ටඥානයෙන් අවබෝධ නොකරන්නේ, සර්‍ව ප්‍රකාරයෙන් දැන නො ගන්නේ, එහි සිත රඳවනුයේ, එය නො දුර ලනුයේ, දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් නොවේ. මහණෙනි, එහෙත් මෝහය විශිෂ්ටඥානයෙන් අවබෝධ කරන්නේ, සර්‍වප්‍රකාරයෙන් දැනැගන්නේ, එහි සිත නො අලවන්නේ, එය දුර ලන්නේ දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් වේ.
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යම් මෝහයෙකින් මුළා වූ සත්ත්‍වයෝ දුගතියට යෙද්ද, විදර්‍ශනාඥානයෙන් බලන්නාහු ඒ මෝහය සම්‍යක්ප්‍රඥාවෙන් දැන සහමුලින් පහ කෙරෙත්. මෝහය පහ කළාවූ කිසි කලෙකත් මේ ලෝකයට පෙරළා නො එත්.“
මේ කාරණය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. එය මෙසේ මා විසින් අසන ලදි.
1. 2. 2.
[කෝධපරිඤ්ඤා සූත්‍රය]
12. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය හෙළි කොට වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි:
1. “මහණෙනි, ක්‍රෝධය විශිෂ්ටඥානයෙන් අවබෝධ නොකරණුයේ, සර්‍වප්‍රකාරයෙන් දැන නොගනුයේ, එහි සිත අලවනුයේ, එය නො දුර ලනුයේ, දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් නොවේ. මහණෙනි, එහෙත් කෝධය විශිෂ්ටඥානයෙන් අවබෝධ කරනුයේ, සර්‍වප්‍රකාරයෙන් දැන ගනුයේ එහි සිත නො අලවනුයේ, එය දුර ලනුයේ, දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් වේ.
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ සේක. ඒ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ.
2. “යම් ක්‍රෝධයෙකින් ක්‍රැද්ධ වූ සත්ත්‍වයෝ දුගතියට යෙද්ද, විදර්‍ශනාඥානයෙන් බලන්නාහු ඒ ක්‍රෝධය සම්‍යක් ප්‍රඥාවෙන් දැන සහමුලින් පහ කෙරෙත්. ක්‍රෝධය පහ කළාහු කිසි කලෙකත් මේ ලෝකයට පෙරළා නො එත්.“
මේ අර්‍ත්‍ථය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
1. 2. 3.
[මක්ඛපරිඤ්ඤා සූත්‍රය]
13. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි:
1. මහණෙනි, මකු බව විශිෂ්ටඥානයෙන් අවබෝධ නො කරන්නේ, සර්‍වප්‍රකාරයෙන් දැන නොගන්නේ, එහි සිත අලවන්නේ, එය දුරු නොකරන්නේ, දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් නොවේ. මහණෙනි, එහෙත් මකු බව විශිෂ්ටඥානයෙන් අවබෝධ කරන්නේ, සර්‍වප්‍රකාරයෙන් දැනැ ගන්නේ, එහි සිත නො අලවන්නේ,( මාර්‍ග ඥානයෙන්) දුරු කරන්නේ, දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් වේ.
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ සේක. එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථාවශයෙන්) මෙසේ කියනු ලැබේ.
2. “යම් මකු බවෙකින් මෙරමා ගුණ වළහන්නා වූ සත්ත්‍වයෝ දුගතියට යෙද්ද, විදර්‍ශනාඥානයෙන් බලන්නාහු ඒ මකුබව සම්‍යක්ප්‍රඥාවෙන් දැන සහමුලින් පහ කෙරෙත්. මකුබව පහ කළාහු කිසි කලෙකත් මේ ලෝකයට පෙරළා නො එත්.“
මේ කාරණය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. එය මෙසේ මා විසින් අසන ලදි.
1. 2. 4.
[අවිජ්ජානීවරණ සූත්‍රය]
14. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි:
1. මහණෙනි, යම් නීවරණයෙකින් වෙළුනා වූ සත්ත්‍වයෝ (උත්පත්ති වශයෙන්) ඒ ඒ භවයන්හි දිවෙත් ද, හැසිරෙත් ද, මහණෙනි, මේ අවිද්‍යානීවරණය යම් සේ ද (එබඳු වූ) අන් එක ම නීවරණයකුදු මම (ඤාණසමනුපස්සනාවෙන්) නො දකිමි. මහණෙනි, අවිද්‍යානීවරණයෙන් ඇවුරුණා වූ සත්ත්‍වයෝ බොහෝ කලක් මුළුල්ලෙහි (උප්පත්තිවශයෙන්) ඒ ඒ භවයන්හි දිවෙත්, හැසිරෙත්.
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථාවශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යම්සේ මෝහයෙන් ඇවුරුණාහු ද එසේ නම් නීවරණයෙකින් සත්ත්‍වයෝ නිතර සසර හැසිරෙත් ද, මේ අවිද්‍යා නීවරණය යම් සේ ද, එබඳු වූ අන් එක ම ධර්‍මයෙකුදු නැත්තේ ය.
3. යම් ආර්‍ය්‍යශ්‍රාවක කෙනෙක් මෝහය දුරු කොට අර්‍හත්ත්‍ව මාර්‍ගඥානයෙන් සහමුලින් මෝහස්කන්‍ධය සින්දාහු ද, ඔහු නැවත සසර නො හැසිරෙත්. ඔවුනට සසර හැසිරීමෙහි හේතුව විද්‍යමාන නොවේ”.
මේ කාරණය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.