1. 1. 7.
[සබ්බපරිඤ්ඤා සූත්‍රය]
7. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය හෙළි කොට වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි:
1. මහණෙනි, දත යුතු සියල්ල විශිෂ්ට ඥානයෙන් අවබෝධ නො කරන්නේ, සර්‍ව ප්‍රකාරයෙන් දැන නොගන්නේ, එහි සිත නො ම නො අලවන්නේ, කෙලෙස් දුරු නොකරන්නේ, දුක් කෙළවර කිරීමට සමත් නොවේ. මහණෙනි, දත යුතු සියල්ල විශිෂ්ටඥානයෙන් අවබෝධ කරන්නේ, සර්‍ව ප්‍රකාරයෙන් දැන ගන්නේ, එහි සිත නොඅලවන්නේ, කෙලෙස් දුරු කරන්නේ, දුක් කෙළවර කිරීමට සමත් වේ.
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන් ) මෙසේ කියනු ලැබේ:
2. “යම් යෝගාවචරයෙක් තෙමේ දත යුතු සියල්ල සර්‍වප්‍රකාරයෙන් දැන සියලු සත්කායධර්‍මයන්හි නො ඇලේ ද, හෙ තෙමේ ඒකාන්තයෙන් සියල්ල දැන ගැණීමෙන් සියලු සසර දුක් ඉක්මවන්නේ ය.”
මේ කාරණය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදි.
1. 1. 8.
[මානපරිඤ්ඤා සූත්‍රය]
8. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි:
1. මහණෙනි, මානය විශිෂ්ටඥානයෙන් අවබෝධ නො කරන්නේ, සර්‍ව ප්‍රකාරයෙන් දැන නොගන්නේ, එහි සිත ඇල්ම නො හරින්නේ, කෙලෙස් නොදුර ලන්නේ, දුක් කෙළවර කිරීමට සමත් නොවේ. මහණෙනි, මානය විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරන්නේ, සර්‍වප්‍රකාරයෙන් දැන ගන්නේ, එහි සිත නො අලවන්නේ, කෙලෙස් දුරැලන්නේ, දුක් කෙළවර කිරීමට සමත් වේ. මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන් ) මෙසේ කියනු ලැබේ:
2. “මේ සත්ත්‍වයෝ මානයෙන් යුක්ත වූවෝ මානයෙන් ගෙතුනෝ, භවයෙහි ඇලුනාහු ය. මානය (ත්‍රිවිධ පරිඥාවන්ගෙන්) පිරිසිඳ නොදන්නාහු පුනර්‍භවයට පැමිණෙත්. යම් කෙනෙක් මානය සර්‍වප්‍රකාරයෙන් ප්‍රහාණය කොට අර්‍හත් ඵලයෙහි පිහිටා (මානය සමග පවත්නාවූ සියලු කෙලෙසුන් කෙරෙන්) මිදුනාහු වෙද්ද, අභිභවනය කළ මානග්‍රන්‍ථ ඇති ඒ රහත්හු සියලු දුක් ඉක්මියහ.”
මේ කාරණය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
1. 1. 9.
[ලෝභපරිඤ්ඤා සූත්‍රය]
9. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය හෙළි කොට වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි:
1. මහණෙනි, ලෝභය විශිෂ්ටඥානයෙන් අවබෝධ නො කරන්නේ, සර්‍ව ප්‍රකාරයෙන් දැන නොගන්නේ, එහි සිතැ ඇල්ම නොහරින්නේ, කෙලෙස් දුරු නොකරන්නේ, දුක් කෙළවර කිරීමට සමත් නොවේ. මහණෙනි, එහෙත් ලෝභය විශිෂ්ටඥානයෙන් අවබෝධ කරණුයේ, සර්‍වප්‍රකාරයෙන් දැන ගනුයේ, එහි සිත නො රඳනුයේ, කෙලෙස් පහ කරණුයේ, දුක් කෙළවර කිරීමට සමත් වේ.
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන් ) මෙසේ කියනු ලැබේ: