1. 1. 8.
[මානපරිඤ්ඤා සූත්‍රය]
8. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි:
1. මහණෙනි, මානය විශිෂ්ටඥානයෙන් අවබෝධ නො කරන්නේ, සර්‍ව ප්‍රකාරයෙන් දැන නොගන්නේ, එහි සිත ඇල්ම නො හරින්නේ, කෙලෙස් නොදුර ලන්නේ, දුක් කෙළවර කිරීමට සමත් නොවේ. මහණෙනි, මානය විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරන්නේ, සර්‍වප්‍රකාරයෙන් දැන ගන්නේ, එහි සිත නො අලවන්නේ, කෙලෙස් දුරැලන්නේ, දුක් කෙළවර කිරීමට සමත් වේ. මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන් ) මෙසේ කියනු ලැබේ:
2. “මේ සත්ත්‍වයෝ මානයෙන් යුක්ත වූවෝ මානයෙන් ගෙතුනෝ, භවයෙහි ඇලුනාහු ය. මානය (ත්‍රිවිධ පරිඥාවන්ගෙන්) පිරිසිඳ නොදන්නාහු පුනර්‍භවයට පැමිණෙත්. යම් කෙනෙක් මානය සර්‍වප්‍රකාරයෙන් ප්‍රහාණය කොට අර්‍හත් ඵලයෙහි පිහිටා (මානය සමග පවත්නාවූ සියලු කෙලෙසුන් කෙරෙන්) මිදුනාහු වෙද්ද, අභිභවනය කළ මානග්‍රන්‍ථ ඇති ඒ රහත්හු සියලු දුක් ඉක්මියහ.”
මේ කාරණය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
1. 1. 9.
[ලෝභපරිඤ්ඤා සූත්‍රය]
9. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය හෙළි කොට වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි:
1. මහණෙනි, ලෝභය විශිෂ්ටඥානයෙන් අවබෝධ නො කරන්නේ, සර්‍ව ප්‍රකාරයෙන් දැන නොගන්නේ, එහි සිතැ ඇල්ම නොහරින්නේ, කෙලෙස් දුරු නොකරන්නේ, දුක් කෙළවර කිරීමට සමත් නොවේ. මහණෙනි, එහෙත් ලෝභය විශිෂ්ටඥානයෙන් අවබෝධ කරණුයේ, සර්‍වප්‍රකාරයෙන් දැන ගනුයේ, එහි සිත නො රඳනුයේ, කෙලෙස් පහ කරණුයේ, දුක් කෙළවර කිරීමට සමත් වේ.
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන් ) මෙසේ කියනු ලැබේ:
2. “යම් ලෝභයෙකින් ලුබ්ධ වූ සත්ත්‍වයෝ දුගතියට යෙද්ද, විදර්‍ශනා ඥානයෙන් බලන්නාහු ඒ ලෝභය සම්‍යක්ප්‍රඥාවෙන් දැන සහමුලින් පහකෙරෙත්. ලෝභය පහ කළාහු කිසි කලෙකත් මේ ලෝකයට පෙරළා නොඑත්.”
මේ කාරණය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. එය මෙසේ මා විසින් අසන ලදි.
1. 1. 10.
[දෝසපරිඤ්ඤා සූත්‍රය]
10. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය හෙළි කොට වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි:
1. මහණෙනි, ද්වේෂය විශිෂ්ටඥානයෙන් අවබෝධ නො කරණුයේ, සර්‍ව ප්‍රකාරයෙන් දැන නොගනුයේ, එහි සිත ඇල්ම නො හරිණුයේ, කෙලෙස් දුරු නො කරනුයේ, දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් නොවේ. එහෙත් මහණෙනි, ද්වේෂය විශිෂ්ටඥානයෙන් අවබෝධ කරනුයේ, සර්‍වප්‍රකාරයෙන් දැන ගනුයේ, එහි සිත නොරඳවනුයේ, එහි ඇල්ම දුරැ ලනුයේ, දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් වේ.
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන් ) මෙසේ කියනු ලැබේ.
2. “යම් ද්වේෂයෙකින් ද්විෂ්ට වූ සත්ත්‍වයෝ දුගතියට යෙද්ද, විදර්‍ශනා ඥානයෙන් බලන්නාහු ඒ ද්වේෂය සම්‍යක්ප්‍රඥාවෙන් දැන සහමුලින් පහ කෙරෙත්. ද්වේෂය පහ කළාවූ කිසි කලෙකත් මේ ලෝකයට පෙරළා නො එත්.”
මේ කාරණය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
[පළමුවන පාටිභෝග වර්‍ගය නිමි.]
එහි උද්දානය:
රාග, දෝස, මෝහ, කෝධ, මක්ඛ. මාන, සබ්බ, නැවතත් මාන, ලෝභ, දෝස ද යන මොහු ප්‍රකාශිත ය හ. වර්‍ගය ප්‍රථම ය යි කීහු.