9. පාප වර්‍ගය
1.(116) (දාන ශීලාදි) සුචරිතධම්මවිෂයයෙහි යුහු වන්නේ ය (වහවහා කට යුත්තේ ය). කායදුශ්චරිතාදි අකුශල කර්‍මයෙන් (හෙවත් අකුශල චිත්තෝත්පාදයෙන්) සිත (හෙවත් නොයෙක් තැනින් වැද ගොයම් කන කුළු ගොනකු මෙන් නොරැක්ක හැකි විසභාග අරමුණට දිවෙන හෙයින් තුන් දුසිරිතෙන් නොවැළකිය හැකි වූ මේ කුළු සිත) වළකන්නේ ය. කුමක් හෙයින යත්: දානාදී කුශල කර්‍ම (යම් හෙයෙකින්) දන්‍ධ වැ (හෙවත් ‘දෙම් දෝහෝ,’ ‘නොදෙම් දෝහෝ,’ ‘කෙරෙම් දෝහෝ,’ ‘නො කෙරෙම් දෝහෝ,’ ‘කොට පියා හෙම් දෝහෝ,’ ‘නො කොට පියා හෙම් දො හෝ’ යී මෙ ලෙස ලැසි ගෙණ) කරන්නහුගේ සිත (මසුරුමල ආදි) අකුශලයෙහි ඇලේ. එ හෙයිනි.
2.(117) පුරුෂ තෙම ඉදින් ප්‍රාණවධාදි අකුශල කර්‍මයක් (ප්‍රමාද දෝෂයෙකින් වත් අසත්සමවායයෙකින් වත් එක් වරෙක) කොට පූයේ වී නමුත් ඒ අකුශල කර්‍මය නැවැත නැවැත නො කරන්නේ ය. (නොදැන සාලඟුරු මැඩ ගත් එකක්හු වහා පය හයා ගන්නා සේ එකෙණෙහි ම ප්‍රත්‍යවේක්‍ෂා කොට මෙවැනි ලාමකක්‍රියා කිරීම තාගේ ජාත්‍යාදියට නොසුදුසු ය යි සලකා ඒ පාපය නො කරන්නේ ය). ඒ අකුශලයෙහි ආලයක්, රුචියක් නො කරන්නේ ය. කුමක් හෙයින් ද? යත්: (ප්‍රාණවධාදී අකුශල) කර්‍මයාගේ රැස් කිරීම (මෙ ලොව ද පර ලොව ද කායචිත්තදුඃඛය එළවන හෙයින්) දුකි. (අකුසල් රැස් කිරීම නම් යම් හෙයකින් මෙ ලොව ද පරලොව ද දුකට කාරණ ද එහෙයින් දුකැ යි සේ යී).
3.(118) පුරුෂ තෙම ඉදින් දානාදි එක්තරා කුශල කර්‍මයක් එක් වරෙක ද කෙළේ වී නම් එය නැවත නැවැත ද කරන්නේ ය. ඒ කුශලයෙහි ආලය රුචිය කරන්නේ යි. කුමක් හෙයින් ද? යත්: දානාදි කුශලයාගේ රැස් කිරීම (යම් හෙයෙකින් සඟමොක් සැපතට කාරණ ද එහෙයින්) සුව යි.
4.(119) යම් තාක් කල් පුරුෂයා විසින් කරණ ලද අකුශල කර්‍මය මෙලොවැ හෝ පරලොවැ හෝ විපාක නො දේ ද, ඒ තාක් කල් පාපකර්‍මසමන්‍විත පුද්ගල ද යහපත දක්නේ ය (පාපී පුද්ගල ද පූර්‍වජන්මයෙහි කළ සුචරිත බලයෙන් වැඩ දක්නේ ය, සුව විඳුනේ ය. යම් කලෙක වනාහි ඔහු කළ පාපකර්‍මය දුෂ්ටධර්‍මවේද්‍ය ව එම ජන්මයෙහි හෝ උපපද්‍යවෙද්‍ය ව හෝ අපරාපර්‍යවේද්‍ය ව) විපාක දේ ද, එකල්හි පව් කළ පුද්ගල තෙම (මෙලොවැ වධබන්‍ධනාදියට ද පරලොවැ අපාය දුකට ද භාජන වීමෙන්) පාපඵලයන් දක්නේ ය.
5.(120) යම් තාක් කල් පුරුෂයා විසින් කරන ලද කුශල කර්‍මය (මෙ ලොව හෝ පරලොවැ) විපාක නො දේ ද, ඒ තාක් කල් කුශලකර්‍මසමන්‍විත පුද්ගල ද (පූර්‍ව කර්‍මයෙහි කළ දුශ්චරිත බලයෙන් වන අකුශල විපාක වූ) අවැඩ දක්නේ ය (දුක් විඳුනේ ය). යම් කලෙක වනාහි ඔහු කළ සුචරිතය (මෙ ලොවැ ම හෝ පරලොවැ හෝ) විපාක දේ ද, එ කල්හි කුසල් කරණ සත්පුරුෂ තෙම (මෙ ලොවැ ලාභසත්කාරාදි සුව ද පර ලොවැ දෙව්සැපත් ආදි සුව ද අනුභව කරන්නේ) භද්‍ර වූ ඉෂ්ට විපාකයන් දක්නේ ය.
6.(121) ඒ ස්වල්පමාත්‍ර වූ අකුශලකර්‍මය මා කරා (විපාක දීම් වශයෙන්) නො එන්නේ යැ යි, අකුශල කර්‍මය ස්වල්ප යැ යි, අවඥා නො කරන්නේ ය. නිතර එකෙකි දිය බිඳක්හුගේ හීමෙන් (වැසී වස්නා අබවසැ විවෘත වූ මුඛ ඇති) කුඹල් බඳුනෙක් යම්සේ ක්‍රමක්‍රමයෙන් පිරී යේ ද, එ පරිද්දෙන් ම මඳ මඳ කොට ද පව් රැස් කරන අඥාන තෙමේ පාපකර්‍මයෙන් (ක්‍රමයෙන්) පිරෙන්නේ ය.
7.(122) ඒ ස්වල්පමාත්‍ර කුශල කර්‍මය මා කරා (විපාක දීම් වශයෙන්) නො එන්නේ යැ යී (මෙය ස්වල්පමාත්‍ර එකෙක. කවර කලෙක මට විපාක දේ ද, එය ස්වල්ප එකෙකැ යි) අවමන් නො කරන්නේ ය. කුමක් හෙයින? යත්: නිරන්තරයෙන් එකෙකි දිය බිඳක්හු හීමෙන් කුඹල් බඳුන ද ක්‍රමක්‍රමයෙන් පිරෙන්නේ ය. එ පරිද්දෙන් ම මඳ මඳ කොට ද කුශලකර්‍ම රැස් කරන ප්‍රඥා තෙම දානශීලාදී කුශලකර්‍මය ක්‍රමක්‍රමයෙන් පුරන්නේ ය.