දම්පියාපෙළ
ඒ භගවත් අරහත් සම්මාසම්බුදුරජානන් වහන්සේට නමස්කාර වේවා.
1. යමක වර්‍ගය
1. (වේදනාදි) චෛතසිකධර්‍මයෝ සිත පෙරටු කොට ඇතියහ. සිත ශ්‍රේෂ්ඨ කොට ඇතියහ. සිතින් ම උපදනාහ. ඉදින් කිලිටි සිතින් (මුසාවාදාදී චතුර්විධ වාග්දුශ්චරිතය) කියන්නේ නම් හෝ (ප්‍රාණඝාතාදී ත්‍රිවිධ කාය දුශ්චරිතය) කරන්නේ නම් හෝ ඒ හේතුවෙන් දුක ඔහු ලුහු බඳියි. ගොනු අනුව යන ගැල් සක මෙනි.
2. (වේදනාදි චෛතසික) ධර්‍මයෝ සිත පෙරටු කොට ඇතියහ. සිත ශ්‍රේෂ්ඨ කොට ඇතියහ. සිතින් ම උපදනාහ. ඉදින් පහන් සිතින් කියන්නේ නම් හෝ කරන්නේ නම් හෝ ඒ හේතුවෙන් සැපය ඔහු කැටුව යෙයි. නොහැර කැටුව යන සෙවණැල්ල මෙනි.
3. ‘මට ආක්‍රෝශ කෙළේ යැ’ යි ද, ‘මට පහර දුන්නේ යැ යි’ ද, ‘මා දිනී යැ’ යි ද, ‘මා සතු දෑ පැහැර ගත්තේ යැ’ යි ද, යම් කෙනෙක් ඒ ක්‍රෝධය සිතැ බඳිත් නම් ඔවුන්ගේ ඒ වෛරය නො සංහිඳේ.
4. ‘මට ආක්‍රෝශ කෙළේ යැ’ යි ද, ‘මට පහර දුන්නේ යැ යි’ ද, ‘මා දිනී යැ’ යි ද, ‘මා සතු දෑ පැහැර ගත්තේ යැ’ යි ද, යම් කෙනෙක් ඒ ක්‍රෝධය සිත නො බඳිත් නම් ඔවුන්ගේ ඒ වෛරය සංහිඳේ.
5. මේ ලෝකයෙහි කිසි කලෙකත් වෛරයෝ වෛරයෙන් නො සංහිඳෙත්. අවෛරයෙන් (ක්‍ෂාන්තියෙන් හා මෛත්‍රියෙන්) ම සංහිඳෙත්. මෙය පුරාතන වූ (බුදු පසේබුදු රහතුන් විසින් පුරුදු කොට ආ) සිද්ධාන්තන ධර්‍මයෙකි.
6. ‘මේ කලහයෙහිදී අපි නැසෙමු’ යී කලහකාරී අන්‍යයෝ නො දන්නාහ. එහි යම් කෙනෙක් ‘අපි නැසෙමු’ යී දනිත් ද එයින් කලහයෝ සංහිඳෙත්.
7. (අරමුණු) ශුභ වශයෙන් බලමින් වසන, ඉන්‍ද්‍රියයන් කෙරෙහි සංවරය නැති, භෝජනයෙහි පමණ නො දන්නා වූ, කාමවිතර්‍කාදී මිථ්‍යාවිතර්‍කයනට වසඟ බැවින් කුසීත වූ, වීර්‍ය්‍යය නැති ඒ පුද්ගලයා ඒකාන්තයෙන් (ක්ලේශ) මාර තෙමේ මැඩ ලයි. වාතය දුබල රුකක් මැඩ ලන්නක් මෙනි.
8. උඬුමාතකාදී දශ අශුභයන් අතුරෙන් එක්තරා අශුභයක් අනුව බලමින් වසන, ඉඳුරන් කෙරෙහි මනා සංවරය ඇති, භෝජනයෙහි පමණ දන්නා වූ, ශ්‍රද්ධා ඇති, සතර ඉරියව්හි වඩන ලද වීර්‍ය්‍ය ඇති, මෙබඳු පුද්ගලයා ක්ලේශමාර තෙමේ ඒකාන්තයෙන් මැඩ නො පවත්වයි. වාතය ඒකඝන ගල් පර්‍වතයක් මැඩ ලිය නො හෙන්නාක් මෙනි.
9. රාගාදි කෙලෙස්කසට සහිත වූ ඉන්‍ද්‍රියදමනයෙන් ද වාක් සත්‍යයෙන් ද තොර වූ යමෙක් කසාවත් හඳනේ පොරෝනේ වේ ද, ඒ පුද්ගලයා කසාවත් දැරීමට සුදුසු නො වෙයි.
10. යම් ආර්‍ය පුද්ගලයෙක් වමාරා ලු කෙලෙස් කසට ඇත්තේ වන්නේ ද. සිවු පිරිසිදු සිල්හි මොනොවට පිහිටියේ වේ ද, ඉන්‍ද්‍රියදමනයෙන් හා වාක්සත්‍යයෙන් හා යුක්ත ද, හෙ තෙම කසාවත් දැරීමට ඒකාන්තයෙන් සුදුසු වෙයි.
11. අසාරයෙහි සාරය යන දෘෂ්ටි ඇති, ශීලාදි සාරයෙහි අසාරය යන දෘෂ්ටි ඇති, මිථ්‍යාසඞ්කල්පය ගොදුරු කොට ඇති ඒ අඥාන ජනයෝ ශීලාදි සාරයට නො පැමිණෙත්.
12. (ශීලසාරාදි) සාර දැය සාර වශයෙන් ද, අසාර දැය අසාර වශයෙන් ද දැන (වසන) නොවැරැදි අදහස් ගොදුරු කොට ඇති ඒ ප්‍රාඥයෝ ශීලාදි සාරයට පැමිණෙත්.
13. නොමනා සේ සෙවිලි කළ කිසි ගෙයක් වැසි දහර යම් සේ විනිවිද යේ ද, එසේ ම කාමරාග තෙමේ භාවනා වශයෙන් නො වැඩු සිත අතිශයින් විනිවිද යෙයි.
14. වැසි දහර සකස් කොට සෙවිලි කරන ලද ගෙයක් යම් සේ විනිවිද නො යන්නේ ද, එ පරිදි ම කාමරාග තෙමේ භාවනා වශයෙන් මොනවට වැඩු සිත විනිවිද නො යයි.
15. පව් කරන සුලු පුද්ගල තෙම (මැරෙන කාලයෙහි කර්‍මානුස්මරණ වශයෙන්) මෙ ලොව දී ශෝක කරයි. විපාකානුභව වශයෙන් පරලොව දී ශෝක කරයි. (මෙසේ) දෙලොවදී ම ශෝක කරයි. තමාගේ කිලිටි කර්‍ම දැක හෙ තෙම (මෙ ලොව දී) ශෝක කරයි. (නොයෙක් සැටියෙන් වැලැපෙන්නේ) වෙසෙසින් පෙළෙයි.
16. පින් කළ පුද්ගල තෙම මෙ ලොව දී කුශලකර්‍මානුස්මරණයෙන් සතුටු වෙයි. පරලොව දී විපාකානුභාවයෙන් සතුටු වෙයි. දෙලොව දී ම සතුටු වෙයි. තමාගේ විශුද්ධ වූ පුණ්‍යකර්‍මය දැක්මෙන් හෙ තෙම මෙ ලොව දී සතුටු වෙයි. පරලොව දී ද බොහෝ සෙයින් සතුටු වෙයි.
17. පව් කරන සුලු පුද්ගල තෙමෙ මෙ ලොව දී (කර්‍මසන්තාපයෙන්) තැවෙයි. පරලොව දී විපාකසන්තාපයෙන් තැවෙයි. දෙලොව දී ම තැවෙයි. ම විසින් පව් කරන ලදැයි (මෙලොව දී) තැවෙයි. දුගතියට ගියේ (අනිෂ්ට විපාක සන්තාපයෙන්) බෙහෙවින් තැවෙයි.
18. පින් කළ පුද්ගල තෙමේ මෙලොව දී (කර්‍මනන්‍දනයෙන්) තුටු වෙයි. පරලොව දී (විපාකනන්‍දනයෙන්) තුටු වෙයි. දෙලොව දී ම තුටු වෙයි. මාවිසින් පින් කරන ලදැයි මෙලොව දී තුටු වෙයි. සුගතියට ගියේ ඉෂ්ටවිපාකනන්‍දනයෙන් බෙහෙවින් තුටු වෙයි.