10. දණ්ඩ වර්‍ගය
1.(129) (කේශර සිංහයන් හා ආජානේය හස්ත්‍යශ්වයන් හා ක්‍ෂීණාස්‍රවයන් තබා සෙසු) සියලු සත්ත්‍වයෝ ම (වධබන්‍ධනාදි) කායදණ්ඩනයට ත්‍රස්ත වෙති. (ක්‍ෂීණාස්‍රවයන් තබා සෙසු) සියලු සත්හු ම මරණයට බති. ක්‍ෂීණාස්‍රවයෝ වනාහි ජීවිතයෙහි ද මරණයෙහි ද උපේක්‍ෂක ම වෙත්. එබැවින් තමා උපමා කොට (හෙවත් මම් යම් සේ දණ්ඩනයට බම් ද එසේ ම සියලු සත්ත්‍වයෝ ද දණ්ඩනයට බති. මගේ ජීවිතය මට යම්සේ ප්‍රිය ද එසේ ම සියලු සතුන්ගේ ජීවිත ද ඔවුනට ප්‍රිය යැ’ යි මෙසේ) තමා උපමා කොට (නුවණැති පුරුෂ තෙම) කිසි දු සතක්හු (අතින් පයින් දංඩෙන් සැතින්) නො මරන්නේ ය. අනුන් ලවා ද නො මරවන්නේ ය.
2.(130) (සාමාන්‍යයෙන්) සියලු සත්ත්‍වයෝ ම කායදණ්ඩනයට ත්‍රස්ත වෙති. රහතුන් තබා සෙසු සියල් සත්නට ම ජීවිතය ප්‍රිය ය. (රහත්හු ජීවිත මරණ දෙක්හි උපේක්‍ෂක වෙති.) එබැවින් තමා උපමා කොට නුවණැත්තේ කිසි සතක්හු නො මරන්නේ ය. අනුන් ලවා ද නො මරවන්නේ ය.
3.(131) යම් පුද්ගලයෙක් (අනුන් මරා තළා අනුන් ගැති කොට ගෙණ) තමහට සුව කැමැති වූයේ, කායික චෛතසික සුව කැමැති සත්ත්‍වයන් වාගදණ්ඩයෙන් පෙළා ද (දුකට පමුණුවා ද), හෙ තෙම පරලොව දෙව්මිනිස් සුව ද නිවන් සුව ද නො ලබන්නේ ය.
4.(132) යම් පුද්ගලයෙක් තමහට සුව කැමැති වූයේ, සුව කැමැති සතුන් (වාග්දණ්ඩාදී) දණ්ඩයෙන් නො පෙළා ද (දුකට නො පමුණුවා ද), ඒ පුද්ගල තෙම පර ලොවදී සුව ලබන්නේ ය.
5.(133) කිසි එක ද පුද්ගලයක්හට පරුෂ වචනයක් නහමක් කියව. තා විසින් පරොස් තෙපුල් කියන ලද්දාවූ අන්හු තට නැවැත පෙරළා පරොස් තෙපුල් බණන්නාහු ය. යම් හෙයකින් (කරණොත්තරකරණ යැ යි කියන ලද) යුගග්‍රාහ කථාව දුක් ද (හෙවත් දුකට කාරණ ද) එ හෙයින් කායදණ්ඩාදි ප්‍රතිදණ්ඩයෝ තා ස්පර්‍ශ කරන්නාහු ය (තා කරා පැමිණෙන්නාහු ය)
6.(134) ඉදින් වටින් කඩා හරණ ලද ලොහොතලියක් මෙන් (තාගේ) සිත නිශ්චල කරන්නට පොහොසත් වීහි නම්, එසේ (මේ පිළිවෙත පුරන) ඒ තෝ (දැන් නිවනට නො පැමිණිය ද) නිවනට පැමිණියේ නම් වෙහි. එසේ කලැ තට (‘දුශ්ශීලයෙම් මම ද? තොයි දු දුශ්ශීලයෙහි යන ආදීන් කියන) යුගග්‍රාහට නො වන්නේ ය.
7.(135) යම්සේ ගොපලු තෙම දඬුයෙන් (පැහැරැ පැහැරැ) ගෙරින් ගෝචර භූමියට (හෙවත් තණබිමට) පමුණුවා ද (ගෙනැ යේ ද), එ පරිද්දෙන් ම (ප්‍රකට ජරා ද අප්‍රකට ජරා ද යන ද්විවිධ) ජරා ද, (සන්තති විච්ජෙද යන) මරණ ද (යන මොහු දෙදෙන) ප්‍රාණීන්ගේ ජිවිතේන්‍ද්‍රියය ක්‍ෂයයට පමුණුවන්නාහු ය.
8.(136) ඒ මතු නො වෙයි. ප්‍රාණවධාදී පව් කම් කරණ අඥාන තෙම(මා විසින් කරණ ලද මේ පාපකර්‍මයාගේ මෙසේ වූ අනිෂ්ට විපාකයෙක් ඇතැ යි) නො දන්නේ ය (නො සලකන්නේ ය). ඒ නුවණ නැත්තේ ස්වකීය පාප කර්‍මයෙන් (නරකයෙහි උපන්නේ) ගින්නෙන් දැවුනක්හු මෙන් (කායික චෛතසික සන්තාපයෙන්) තැවෙන්නේ ය.
9.(137) කායදණ්ඩ වාග්දණ්ඩ ධනදණ්ඩ රහිත වූ, (තමහට වත් අන් හට වත්) අද්‍රෝහී වූ, එ හෙයින් ම සියලු සතුන් කෙරෙහි මෛත්‍රීපර වූ ක්‍ෂීණාස්‍රවයන් විෂයයෙහි යම් පුද්ගලයෙක් තෙම කායදණ්ඩාදි දණ්ඩයෙන් අපරාධ කෙරේ ද, හෙ තෙම දශවිධ දුඃඛකාරණයන් අතුරෙන් එක්තරා දුඃඛකාරණයකට වහා ම පැමිණෙන්නේ ය. හේ කවර යත්:
10.(138) කර්‍කශ වූ, (අත් පා බිඳීම් ආදියෙන්හෝ චක්ඛුරෝග සොතරොගාදියෙන් හෝ උපන් බලවත් ශරීර) වේදනාවකට හෝ, (මහ නැව් නැසීම් නිධාන අපවත් වීම් ආදි වූ මහත් අර්‍ත්‍ථ) හානියකට හෝ (අත් පා කැපීම් බිඳීම් හිස පැළීම් ආදී වූ) ශරීරභේදයකට හෝ නැවත (කාශ ශ්වාස අතීසාර සොඵොදර කුෂ්ඨ ගණ්ඩ කිලාසශොෂාදි) බලවත් රෝග දුකකට හෝ (කාණ කුණි ඛංජ පිඨසප්පී ආදි බවට හෝ), යක්‍ෂෝන්මාදයට පිත්තොන්මාදයට හෝ පැමිණෙන්නේ ය.
11.(139) රජුන් කෙරෙන් වන (තනතුරු උදුරා ගැන්මෙන්, දන වොලො ගැන්මෙන්) උපද්‍රවයකට හෝ දරුණු වූ (අසෝ තැන උමං බුන්නේ, මං පහළුයේ, මිනී මැරුයේ, අසෝ රාජාපරාධය කෙළේ තෝ වෙහි දැ යි නො ඇසූ නොකී නොබිණූ නොකළ දෑ පිළිබඳ) බලවත් අභ්‍යාඛ්‍යානයකට හෝ (තමාගේ සුව දුක බැඳී පිහිටි වන්නට නිසි වැඩී සිටි) නෑයන්ගේ විනාශයට හෝ (රත්රන් අඟුරු වීම ය, මුතු කපුඇට වීම ය, කහවණු කැටකැබිලිති වීම ය යන ආදී වු) භෝගවිනාශයකට හෝ පැමිණෙන්නේ ය.
12.(140) නො හොත් ඒ පාපී පුද්ගලයාගේ වාසාගාරයන් ගිනි තෙමේ දවන්නේ ය. (අනිත් දවන කෙනෙක් නැත් නම් සේන ගිනි හෝ ලැවු ගිනි හෝ දවන්නේ ය.) ඒ අඥාන පුද්ගල තෙම ජීවිතේන්‍ද්‍රියෝපච්ඡේදයෙන් මත්තෙහි (ඒකාන්තයෙන්) නිරයට ද පැමිණෙන්නේ ය.
13.(141) (පුබ්බන්තාපරන්තාදි අට තන්හි උපදනා අෂ්ටවස්තුක ශාඞ්කව නොඉක්මුණු හෙයින්) එ තෙර නො වූ ශාංකා මහවතුර ඇති පෘථග්ජන සත්ත්‍වයා (අචේලව්‍රත සමාදානයෙන්) නග්න වැ ඇවිද කරණ තපස්හු ද ශුද්ධ නො කරන්නාහ (ලොකනිඃසරණයට හෙවත් නිවනට නො පමුණු වන්නාහ). ජටාවෝ ද ශුද්ධ නො කරන්නාහ. දන්තමලධාරණය, ඇහැ මද ගැල්වීම යන මොහු ද ශුද්ධ නො කරන්නාහ. ආහාර නොවළදා කරණ තපස්හු ද ශුද්ධ නො කරන්නාහ. (අජව්‍රත ගෝව්‍රත සමාදානයෙන්) බිමැ හෙවැ කරණ තපස්හු ද ශුඬ නො කරන්නාහ. ආගන්තුක රජස් දැරීමය, නොනහා වෙරැ දැලි ඉසිලීම ය, උත්කුටිකායෙන් ම හිඳ ඇවිද කරණ තපස් ය යන මොහු ද (ඒ සත්ත්‍වයා) ශුද්ධ නො කරන්නාහ. (නිවනට නො පමුණුවන්නාහ).
14.(142) වස්ත්‍රාභරණයෙන් සැරැසුණු පුද්ගල ද ඉදින් (කායවිෂමතාදියෙන් තොර වැ) කායසමාධි සංයමයෙහි යෙදී පවතී ද, (රාගාදී කෙලෙසුන් සංහුන් බැවින්) ශාන්ත ද, ඉන්‍ද්‍රිය දමනයෙන් දැමුනේ වී ද, (චතුර්විධ මාර්‍ග නියමයෙන්) නියම කරණ ලද සත්තක්ඛත්තුපරමතා ආදි බව් ඇත්තේ වේ ද, ශාසනබ්‍රහ්මචර්‍ය්‍ය මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍ය ඇත්තේ වේ ද, සියලු සතුන් කෙරෙහි (කායදණ්ඩාදි) දණ්ඩ බහා තබා දුරු කොට වෙසේ ද, මෙ බඳු ගුණයුක්ත වූ ඒ රහත් තෙම (බාහිත පාප ඇති බැවින්) බ්‍රාහ්මණ නමුදු වේ. (සංසිඳුණු පව් ඇති හෙයින්) සමණ නමුදු වේ. (බුන් කෙලෙස් ඇති බැවින්) භික්‍ෂු නමුදු වේ.