11. ජරා වර්‍ගය
1.(146) සතතයෙන් (මේ ලෝකසන්නිවාසය රාගාදි එකොළොස් ගින්නෙන්) ඇවිල ගෙණ දිලියෙන කල්හි (තොප හැම දෙනාට) සොම්නසෙක් වත් සතුටෙක් වත් කවරේ ද? (දුඃඛාදි අට තන්හි උපදනා සම්මෝහ යැ යි කියන ලද) අවිද්‍යාන්‍ධකාරයෙන් වළඳනා ලද්දා වූ තෙපි (ඒ මොහඳුර නසනු පිණිස මාර්‍ගඵලප්‍රඥා සංඛ්‍යාත) ප්‍රදීපය කුමට නො සොයවු ද?
2.(147) යම් මේ සිරුරෙක නිත්‍ය පැවැත්මෙක් නැද්ද, (නව මහා ව්‍රණමුඛයන්ගේ වශයෙන් ව්‍රණස්වභාව වූ ව්‍රණසමූහ වූ) තුන් සියයක් ඇටින් ගළපා සිටුවන ලද්දා වූ, (හැම කල්හි ම කැවීමෙන් පෙවීමෙන් නැහැවීමෙන් ඉළීමෙන් ඉරියවු පෙරැළීම් ආදියෙන් පරිහරණය කට යුතු හෙයින් සතතයෙන්) ගිලන් වූ, බොහෝ දෙනා විසින් ශුභය ශුචි යැ යි කල්පනා කරණ ලද්දාවූ, (වස්ත්‍රාභරණාදියෙන් සරහා) විසිතුරු කරණ ලද්දා වූ මේ ශරීරය, මේ මෘතකලෙබරය (අසුචි දුගඳ පිළිකුල් සේ) බල.
3.(148) මේ රූපය (පාලු වැ ගිය හෙයින්) ඉතා ජීර්‍ණ ව ගියේ, වැලිත් නොයෙක් රෝගයනට කැදැල්ලක් බඳු ය. වහා නස්නා සුලු ය. (රන්වන් වුව ද නව දොරින් සතතයෙන් වැහෙන කුණු ඇති බැවින්) කුණු වූ මේ කය තෙම (නොබෝ කලෙකින්) බිඳෙන්නේ ය. කුමක් හෙයින? යත්: සියලු සතුන්ගේ ජීවිතය තෙම යම් හෙයකින් මරණය ම අන්ත කොටැත්තේ ද, එහෙයිනි.
4.(149) සරත්කාලයෙහි ඒ ඒ තන්හි දමන ලද ලබු වැනි වූ කොබෝවන් පැහැ ඇත්තාවූ, යම් මේ මිනී ඇට කෙනෙක් ඇද්ද, ඒවා දැක කවර නම් කාමරතියෙක් තොපට වේ ද? (කාමරතියක් ඉපැදැවීම තොපට සුදුසු ද?)
5.(150) යම් තැනෙක්හි ස්කන්‍ධපරිපාකලක්‍ෂණ වූ ජරා ද, ස්කන්‍ධභේදලක්‍ෂණ වූ මරණ ද, නවවිධ මානය ද, (මෙරමා කළ උපකාර මැකීම ලකුණු කොටැති) මකු කෙලෙස් ද පිහිටුවන ලද ද, එහි මසින් හා ලෙහෙයෙන් ගල්වන ලද නුවරක් (නොහොත් කොටුගෙයක්) ඈටින් කරණ ලදී. (තුන් සියයක් ඇට පිහිටුවා නව සියයක් නහරවැලින් වෙළා කරණ ලදී).
6.(151) (මුතු මිණි ඈ සත්රුවනින් ද සෙසු රථාලංකාරයෙන් ද) විශේෂයෙන් විසිතුරු කරණ ලද රජුන්ගේ මගුල් රථයෝ ද ඒකාන්තයෙන් ජරාවට පැමිණෙති (මහලු ව දිරති). නැවත (කවා පොවා නහවා උළා හඳවා පලඳවා නොයෙක් ලෙස පරිහරණය කරණ ලද) මේ සිරුර ද (වයස් මිහිකිරීමෙන් ඛාණ්ඩිත්‍යාදියට පැමිණෙමින්) ජරාවට එළැඹෙයි. (බුද්ධාදි සත්පුරුෂයන්ගේ) නව ලෝකෝත්තර ධර්‍මය වනාහි ජරාවට නො පැමිණෙයි. (බුද්ධාදි) සත්පුරුෂයෝ සත්පුරුෂයන් හා සමග ඒකාන්තයෙන් බණන්නාහු ය.
7.(152) (යටත් පිරිසෙයින් සූත්‍ර දෙකක් හෝ නොපුහුණු බැවින්) අල්පශ්‍රැත වූ මේ පුරුෂ තෙම (මවට වත් පියාට වත් සෙසු නෑයනට වත් කිසි ප්‍රයෝජනයක් පිණිස නො මුහුකුරා නිරර්‍ත්‍ථක ව ම මුහුකුරණ) ගොනකු මෙන් (උපාධ්‍යාය වතක් ආචාර්‍ය්‍ය වතක් ගිලන් වතක් නොකොට භාවනායෙක නොයෙදී නිරර්‍ත්‍ථක ව ම) මුහුකුරන්නේ ය. ඒ (හීයට නො නිසි යැ යි වලැ හැරැපු පාබුන් ගොන්මාල්ලකු වලැ ම කා හැවිද මස් වැඩී තර වැ ගියා මෙන් ආචාර්‍ය්‍ය උපාධ්‍යායාදීන් විසින් හරණ ලදු ව සඞ්ඝයාට උපන් සිවුපසය වළඳා වමන විරේචනාදියෙන් කායපෝෂණයෙහි නියුක්ත) මහණහට ශරීරමාංසයෝ ම වඩනාහ. ඔහුව (ලෞකික වූ ද ලෝකෝත්තර වූ ද) ප්‍රඥාව මඳකුදු නො වැඩේ.
8.(153) භවයෙහි නැවත, නැවත උත්පත්තිය යම් හෙයකින් දුක් ද, එහෙයින් ආත්මභාව සංඛ්‍යාත ගෙය කරණ තෘෂ්ණා නැමැති වඩුවා සොයන මම (යම් නුවණෙකින් ඔහු දක්නට පිළිවන් ද, ඒ බෝධිඥානාධිගමය පිණිස (දිවකුරු පාමුලැ දී කරණ ලද අභිනීහාර ඇත්තෙම්, මෙ තෙක් කල් මුළුල්ලෙහි නොයෙක් ජාතිකෝටිසහස්‍ර යැ යි කියන ලද සසරවටෙහි (ඒ බෝධිඥානය නො ලබන්නෙම් ම) ච්‍යුතිප්‍රතිසන්‍ධි වශයෙන් නැවත නැවත හැවිද්දෙමි.