8. සහස්ර වර්ගය
1.(100) (ආකාශවර්ණනාදි) අනර්ත්ථපදයෙන් යුත් (අවැඩ කොටසින් යුත්) තෙපුල්හු දහසක් නුමුදු උතුම් නො වෙති. යම් (පංචස්කන්ධාදි වූ) එක් අර්ත්ථපදයකුදු අසා පුගුල් තෙම (කෙලෙස් සංහිඳීමෙන්) සන්හිඳේ ද, එසේ වූ (නිර්වාණ ප්රතිසංයුක්ත වූ, ස්කන්ධාදිය ප්රකාශ කරන) අර්ත්ථසාධක එක් පදය පවා උතුමි.
2.(101) අනර්ත්ථපදයෙන් යුත් ගාථා දහසක් වූ නමුදු ඔහු උතුම් නො වෙති. යම් එක් ගාථාපදයකුදු අසා පුගුල් තෙම (කෙලෙස් සංහිඳී-මෙන්) සංහිඳේ ද, එසේ වූ එක් ගාථාපදය ම උතුමි.
3.(102) යමෙක් ඉදින් අනර්ත්ථපදයෙන් යුක්ත වූ ගාථා සීයක් කීයේ නමුදු ඔහු උතුම් නොවෙති. යමක් අසා පුගුල් තෙම කෙලෙස් සංහිඳීමෙන් සන්හිඳේ ද, එසේ වූ එක් ධර්මපදය ම උතුමි.
4.(103) යමෙක් දහසෙකින් ගණන ලද දහසක් මිනිසුන් (දශලක්ෂයක් මිනිසුන්) එක ම යුද්ධයෙහි දිනුයේ නමුදු (උත්තම යෝධ නම් නො වේ.) වැලි යමෙක් එක ම තමා කෙලෙස් දිනීමෙන් දිනුයේ ද, හේ ඒකාන්තයෙන් යුද්ධයෙහි දිනුවවුන්හට උත්තම යෝධ නම් වේ.
5.(104) ආත්මය තෙම දිනන ලද්දේ (හෙවත් සිත් සතන්හි උපන් කෙලෙසුන් දිනීම් වශයෙන් තමා දිනන ලද්දේ) ඒකාන්තයෙන් උතුමි. යම් මේ සෙසු සත්ත්ව සමූහයෙක් (දු කෙළෙම් ආදියෙන්) යමක්හු විසින් දිනන ලද ද, (ඒ දිනීම් උතුම් නො වේ). කවර හෙයින යත්: තමා දමනය කළ, සතතයෙන් කයින් වචසින් සංයත වූ පැවැතුම් ඇති පුරුෂයාගේ දිනීම නො දිනුවා නො කට හැකි ද, එහෙයිනි.
6.(105) එ බඳු පුද්ගලයාගේ කෙලෙස් දිනීම දෙවියෙක් ද නොදිනුවා කට හැකි නො වන්නේ ය. (තිම්බරූ නරදාදී) ගන්ධර්වයෙක් ද නොදිනුවා කට හැකි නො වන්නේ ය. මහබඹුහු හා මර තෙමේ ද නොදිනුවා කට හැකි නො වන්නේ ය.
7.(106) මසක් මසක් පාසා දහසක් වියදම් කිරීමෙන් හවුරුදු සියයක් මුළුල්ලෙහි යමෙක් ලොවී මහාජනයාට දන් දුන්නේ වේ ද, යමෙක් වනාහි ශීලාදිගුණ වශයෙන් වඩන ලද සිතැති එක ම ආර්ය්යයක්හු අසිල්ලකුදු (බත් කෙණෙස්සක් හඹු සරලුවක් පෙරන්කඩයක් පමණ වූ ද කඩ-පොල්ලක් දීමෙන් හෝ) පිදූයේ වේ ද, ඉදින් හවුරුදු සියයක් මුළුල්ලෙහි දෙන ලද යම් දානයෙක් ඇත් ද, එයට වඩා ඇසිල්ලෙක ද ආර්ය්යයනට කරණ ලද ප්රත්යයපූජාව ම උත්තම යි.
8.(107) යම් පුරුෂයෙක් වෙනෙහි වැස (වෙනෙහිදි) ඉදින් හවුරුදු සියක් මුළුල්ලෙහි (කිරිබත් ගිතෙල් මී සකුරු ඉසීමෙන් සිදුහතු සුන්සාල් හීතණ ආදී යාග ද්රව්ය ගින්නෙහි බහා) වහ්නිපූජාව කෙළේ වේ ද, යම් පුරුෂයෙක් වනාහි (ශීලාදි ගුණ වශයෙන්) වඩන ලද සිත් ඇති එක් ආර්ය්යපුද්ගලයක්හු ඇසිල්ලකුදු (ආහාරාදියෙන්) පිදූයේ වේ ද, හවුරුදු සියයක් මුළුල්ලෙහි කරණ ලද යම් වහ්නිපූජාවට වඩා ඇසිල්ලෙක ද ආර්ය්යයනට කරණ ලද ඒ ප්රත්යයපූජාව ම උත්තම යි.
9.(108) මේ සත්ලොවෙහි පින්කිරීමෙහි අපේක්ෂා ඇති පුරුෂ තෙම (මඟුල් දවස් ආදියෙහි දිය යුතු) කිසි යම් කුඩා දානවස්තුවක් හෝ (කම්පල අදහා සකස් කොට සරහා දෙන ලද අමුතු මහ දනක් හෝ) හවුරුද්දක් මුළුල්ලෙහි (මුළු සක්වළැ ලොවී මහජනයාහට නිරතුරු) දුන්නේ ද, ඒ සියලු දානය ම (ආර්ය්යයන් කෙරෙහි පහන් සිතින් කය නමා වඳනාහුගේ එක් වටෙක පැවැති කුශලචේතනාව) සතර භාගයක් කළ කල එයින් එක් භාගයකුදු නො අගනේ ය. එ හෙයින් (කයවඞ්කාදි රහිත හෙයින්) ඍජු බවට පැමිණි ආර්ය්යයනට කය නමා කළ වන්දනාව ම උත්තම යි.
10.(109) සිල්වතුන් එක්වන් වඳනා සුලු වූ, සතතයෙන් ගුණවෘද්ධයන් පුදන සුලු වූ පුද්ගලයාහට ආයුෂය, ශරීරවර්ණය, කායිකචෛතසික සුඛය, කායබල ඥානබල යන මේ සතර ගුණයෝ වඩනාහු ය.