5.(120) යම් තාක් කල් පුරුෂයා විසින් කරන ලද කුශල කර්මය (මෙ ලොව හෝ පරලොවැ) විපාක නො දේ ද, ඒ තාක් කල් කුශලකර්මසමන්විත පුද්ගල ද (පූර්ව කර්මයෙහි කළ දුශ්චරිත බලයෙන් වන අකුශල විපාක වූ) අවැඩ දක්නේ ය (දුක් විඳුනේ ය). යම් කලෙක වනාහි ඔහු කළ සුචරිතය (මෙ ලොවැ ම හෝ පරලොවැ හෝ) විපාක දේ ද, එ කල්හි කුසල් කරණ සත්පුරුෂ තෙම (මෙ ලොවැ ලාභසත්කාරාදි සුව ද පර ලොවැ දෙව්සැපත් ආදි සුව ද අනුභව කරන්නේ) භද්ර වූ ඉෂ්ට විපාකයන් දක්නේ ය.
6.(121) ඒ ස්වල්පමාත්ර වූ අකුශලකර්මය මා කරා (විපාක දීම් වශයෙන්) නො එන්නේ යැ යි, අකුශල කර්මය ස්වල්ප යැ යි, අවඥා නො කරන්නේ ය. නිතර එකෙකි දිය බිඳක්හුගේ හීමෙන් (වැසී වස්නා අබවසැ විවෘත වූ මුඛ ඇති) කුඹල් බඳුනෙක් යම්සේ ක්රමක්රමයෙන් පිරී යේ ද, එ පරිද්දෙන් ම මඳ මඳ කොට ද පව් රැස් කරන අඥාන තෙමේ පාපකර්මයෙන් (ක්රමයෙන්) පිරෙන්නේ ය.
7.(122) ඒ ස්වල්පමාත්ර කුශල කර්මය මා කරා (විපාක දීම් වශයෙන්) නො එන්නේ යැ යී (මෙය ස්වල්පමාත්ර එකෙක. කවර කලෙක මට විපාක දේ ද, එය ස්වල්ප එකෙකැ යි) අවමන් නො කරන්නේ ය. කුමක් හෙයින? යත්: නිරන්තරයෙන් එකෙකි දිය බිඳක්හු හීමෙන් කුඹල් බඳුන ද ක්රමක්රමයෙන් පිරෙන්නේ ය. එ පරිද්දෙන් ම මඳ මඳ කොට ද කුශලකර්ම රැස් කරන ප්රඥා තෙම දානශීලාදී කුශලකර්මය ක්රමක්රමයෙන් පුරන්නේ ය.
8.(123) (සොරුන් සිටි හෙයින් භය කටයුතු වූ මඟ වළහන්නා වූ) කැටි වැ යන සාත්තුවක් නැති (හෝ මඳ වූ සාර්ත්ථ පිරිසක් ඇති) බොහෝ ධන ඇති, වෙළෙඳක්හු මෙන් ද, හලාහල විෂයක් දුරු කරණ, ජීවත් වනු කැමති එකක්හු මෙන් ද, අකුශල කර්ම දුරු කරන්නේ ය.
9.(124) ඉදින් අත්ලෙහි ව්රණයෙක් නො වී නම්, අත්ලෙන් විෂය ගන්නේ ය (හෙවත් ගන්නට පොහොසත් වන්නේ ය). කුමක් හෙයින? යත්: අත්ලෙහි ව්රණයක් නැත්තහු අනුව (ස්ථාවර ජඞ්ගම වශයෙන් විප්රකාර වූ ම) විෂය නො යන්නේ ය (අත්ලෙහි ව්රණයක් නැත්තහු අතින් ගත් විෂය ඔහු සිරුරැ ව්යාප්ත නො වන්නා සේ) (තුන් දොරින්) පව් නොකරන්නාහු (ශරචාපාදිය එළවා දුන් නමුදු අකුශල චේතනා නැති හෙයින් සිදු වන) අකුශල කර්මයෙක් නැත.
10.(125) (තමහට වත් සියලු සත්නට වත්) අදුෂ්ට වූ (හෙවත් නිරපරාධවූ එ හෙයින් ම සියලු සතුන් කෙරෙහි ම මෛත්රීපර වූ නොකැලැඹුණු සිත් ඇති), නිරපරාධ වූ සිත් ඇති හෙයින් පිරිසිදු වූ, නිඃක්ලේශී වූ, (‘නර’ ය ‘පුරුෂ’ යැ යි කියන ලද) සත්තවයකුහට යම් පුද්ගලයෙක් දුෂ්ට වේ ද (අතින් පයින් සැතින් දඬුයෙන් පැහැරීම් ආදියෙන් අපරාධ කෙරේ ද), ඔහු විසින් කරන ලද ඒ පාපකර්මය තෙම උඩු සුළඟට දමන ලද සියුම් රජසක් මෙන් (නිරපරාධයනට අපරාධ කළාවූ) ඒ අඥානයා කරා (මෙ ලොව හෝ පර ලොවැ නරකාදියෙහි හෝ විපාක දුක් දෙමින්) පැමිණෙන්නේ ය.
11.(126) සමහර සත්ත්ව කෙනෙක් මවුකුසට උත්පත්ති වශයෙන් පැමිණෙන්නාහ. පව්මක් කළෝ නරකයට උත්පත්ති වශයෙන් පැමිණෙත් පින් කළ හෙයින් සුන්දර ගති ඇති සත්ත්වයෝ දෙව්ලොවට යන්නාහ. ක්ෂය කළ ආස්රව ඇති රහත්හු නිරුපධිශේෂ පරිනිර්වාණධාතුයෙන් පිරිනිවෙන්නාහ.
12.(127) යම් තැනෙක සිටි සත්ත්ව තෙම තමා විසින් කරණ ලද පාපකර්මයෙන් (විපාක දුක් අනුභව නොකොට) මිදී යේ ද, (කෙසගක් පමණ වූ ද එසේ වූ භුමිප්රදේශයෙක් නැත.) ආකාශයෙහි දු (පාපකර්මයෙන් මිදෙන්නට හැකි ප්රදේශයෙක්) නැත. සමුද්රමධ්යයෙහි දු (පාපකර්මයෙන් මිදෙන්නට හැකි ප්රදේශයෙක්) නැත. පර්වතයන්ගේ විවරයට වැද ද පාපකර්මයෙන් මිදෙන්නට හැකි ප්රදේශයෙක් නැත.
13.(128) යම් තැනෙක්හි සිටි සත්ත්වයා මරණ තෙම අභිභවනය නො කෙරේ ද, (හෙවත් මැඩැ නො පියා ද), (කෙසගක් පමණ වු ද) එසේ වූ භුමිප්රදෙෂයෙක් නැත. සමුද්රමධ්යයෙහි දු මරණින් මිදෙන්නට හැකි ප්රදේශයෙක් නැත. පර්වතයන්ගේ විවරයට වැද ද මරණින් මිදෙන්නට හැකි ප්රදේශයෙක් නැත.
නව වන පාපවර්ගය යි.