5. බාල වර්ගය
1.(60) නොනිදන්නාට රැය දික් ය. ගමන් විඩා ඇත්තාට යොදුන දික් ය. සදහම් නොදත් අනුවණයනට සසර දික් ය.
2.(61) ශිලසමාධිප්රඥායෙන් තමාට වඩා උතුමකු හෝ තමා හා සම වූවකු හෝ සොයන තැනැත්තේ, එබන්දකු නො ලබන්නේ නම්, හුදෙකලා වැ විසීම දැඩි කරන්නේ ය. අනුවණයා කෙරෙහි යහලු බවෙක් නැත.
3.(62) ‘මට පුත්තු ඇත, මට ධනය ඇතැ’යි මෙසේ අඥාන තෙමේ දුකට පැමිණේ. ඒ එසේ ම ය. තෙමේත් තමහට නැත. පුත්රයෝ කොයින් ද? ධනයෙක් කොයින් ද?
4.(63) යමෙක් නුවණ නැත්තේ තමාගේ අනුවණබව දනී ද, ඒ කාරණයෙන් හෙ තෙම පණ්ඩිත හෝ වන්නේ ය. (පණ්ඩිත සමාන හෝ වන්නේ ය). යම් අනුවණයෙක් තෙමේ පණ්ඩිතමානී වේ ද (තමා පණ්ඩිතයෙකු කොට සිතා ද), ඒ පුද්ගල තෙමේ ඒකාන්තයෙන් අනුවණයෙකැ යි කියනු ලැබේ.
5.(64) අනුවණ පුගුල් තෙමේ දිවිහිමියෙනුදු නුවණැත්තන් සෙව්නේ ද, හෙ තෙම දහම් දැන නො ගන්නේ ය. සූපව්යංජන රසය නො දත හෙන සැන්ද මෙනි.
6.(65) නුවණැත්තේ මොහොතක් නමුදු බුද්ධාදි ප්රාඥයන් සෙව්නේ ද, හේ වහා (පර්ය්යාප්ති ප්රතිවේධ) ධර්මය දැන ගනී. සූපව්යංජනයෙහි රස දැන ගන්නා දිව මෙනි.
7.(66) මෙලෝ පරලෝ වැඩ අවැඩ නොදන්නාවූ බාලයෝ, යම් කර්මයක් දුක් විපාක උපදවන්නේ ද, එ බඳු පාපකර්ම කරමින් තමන්හට සතුරකු වැනි වූ ආත්මයෙන් යුක්ත ව කල් යවති.
8.(67) යම් කර්මයක් කොට සිහි කළ කෙණෙහි තැවේ ද, යම් කර්මයක්හුගේ අනිෂ්ට විපාකය කඳුලු වැකුණ මුහුණැති ව හඬමින් අනුභව කෙරේ ද, එබඳු අකුසල් කම් කිරීම නො මැනැවි.
9.(68) යම් කර්මයක් කොට සත්ත්ව තෙම නො තැවේ ද, යම් කර්මයක්හුගේ ඉෂ්ට විපාකය ප්රිතිවේගයෙන් පිණා ගියේ සොඳුරු සිතැති ව අනුභව කෙරේ ද, එබඳු කුශල කර්ම කිරීම මැනැවි.
10.(69) අකුශල කර්මය යම් තාක් විපාක නො දේ ද, ඒ තාක් අඥාන තෙම එය මී මෙන් මිහිරි කොට සිතන්නේ ය. යම් කලෙක අකුශල කර්මය විපාක දේ ද, එ විට අඥාන තෙම බලවත් දුකට පැමිණෙයි.
11.(70) අඥාන පුද්ගල තෙම මසක් පාසා තණ අගින් ගෙණ බොජුන් අනුභව කරන්නේ ද, හෙ තෙම චතුරාර්ය්යසත්යයන් පිරිසිඳ ක්ෂීණාස්රවයන්ගේ සොළොස් වන කලාව පමණට දු නො අගී.
12.(71) අකුශල කම්මය කළ සත්තවයාහට එය කළ ඇසිල්ලෙහි ම දෙනගේ තනයෙන් දෝනා ලද කෙණෙහි ම මිදී නොයන කිරි මෙන් එ කෙණෙහි විපාක නො දෙන්නේ ය. හලුයෙන් වැසුනු සහලඟුරු රැසක් මෙන් ඒ පාපිය දවමින් ඔහු ලුහුබඳී.
13.(72) අඥානයා විසින් දන්නා ලද ශිල්පය හෝ ඔහුගේ ඉසුරුබව ඒ බාලයාහට අවැඩ පිණිස ම වන්නේ ය. එය බාලයාගේ ප්රඥා නැමැති හිස පළමින් ඔහුගේ කුසල් කොටස නසයි.
14.(73) අඥාන භික්ෂූ තෙම නුසුදුසු බුහුමන් ද, භික්ෂූන් පිරිවැරීම ද, සඞ්ඝිකාවාසයෙහි ඉසුරු බව ද, අන් උපාසකකුලයන්හි ප්රත්යය පූජාව ද කැමැති වෙයි.
15.(74) ‘ගිහි පැවැදි දෙකොටස විහාරයෙහි හැම කටයුතු මා විසින් කරණ ලදැ යි සිතත් වා, කිසියම් කුදු මහත් කටයුතු මා විචාරා ම කෙරෙත්වා’යි මෙසේ බාලයාහට විතර්ක ද තෘෂ්ණා ද උපදනේ ය. එයින් ඔහුගේ මානය වැඩෙයි.
16.(75) ලාභ උපදවන පිළිවෙත අනෙකෙක් ම ය. නිවනට පමුණුවන පිළිවෙත අනෙකෙක් ම ය. බුද්ධාශ්රාවක මහණ තෙම මේ කාරණය විශේෂයෙන් දැන නොදැහැමින් උපන් සත්කාරය නො ඉවසන්නේ ය. කායාදී ත්රිවිධ විවේකය වඩන්නේ ය.
පස්වන බාලවර්ගය යි.
6. පණ්ඩිත වර්ගය
1.(76) වරද දක්නා සුලු, නිගා කොට බණන සුලු, යම් කලණ මිතුරකු නිදන් සැල තුබූ තැන කියන්නකු වැනි කොට දක්නේ ද, එබඳු පණ්ඩිතයා සෙවුනේ ය. එබන්දකු සෙවුනහුට යහපතෙක් ම වන්නේ ය. අවැඩෙක් නො වන්නේ ය.