6. පණ්ඩිත වර්‍ගය
1.(76) වරද දක්නා සුලු, නිගා කොට බණන සුලු, යම් කලණ මිතුරකු නිදන් සැල තුබූ තැන කියන්නකු වැනි කොට දක්නේ ද, එබඳු පණ්ඩිතයා සෙවුනේ ය. එබන්දකු සෙවුනහුට යහපතෙක් ම වන්නේ ය. අවැඩෙක් නො වන්නේ ය.
2.(77) යම් කලණ මිතුරෙක් කිසිවකුට අවවාද කෙරේ ද, අනුශාසන කෙරේ ද, අකුශලධර්‍මයෙන් වළකා ද, මෙබඳු කලණ මිතුරා බුද්ධාදී සත්පුරුෂයන්හට ප්‍රිය වෙයි. අසත්පුරුෂයන්හට අප්‍රිය වේ.
3.(78) පාපමිත්‍රයන් සේවනය නො කරන්නේ ය. අධම පුරුෂයන් සේවනය නො කරන්නේ ය. කලණ මිතුරන් භජනය කරන්නේ ය. උත්තම පුරුෂයන් භජනය කරන්නේ ය.
4.(79) ලොවුතුරු දහම් රසය විඳින මහණ තෙම සුවසේ වෙසෙයි. නුවණැති මහණ තෙමේ වෙසෙසින් පහන් සිතින් බුද්ධාදි ආර්‍ය්‍යයන් විසින් දක්නා ලද ධර්‍මයෙහි හැම කල්හි ම ඇලෙන්නේ ය.
5.(80) දියාලුවෝ තමන් කැමැති තැනකට දිය ගෙන යති. හී වඩුවෝ හී දඬු නමති. ලී වඩුවෝ දැව නමති. නුවණැත්තෝ සිත දමනය කරත්.
6.(81) ඒකඝන වූ ශෛලපර්‍වතය ප්‍රචණ්ඩ වාතයෙන් යම්සේ නො සැලේ ද, එපරිදි ම නුවණැත්තෝ නින්‍දා ප්‍රශංසා දෙක්හි නො සැලෙත්.
7.(82) ගැඹුරු වු මහ මුහුද යම්සේ වෙසෙසින් පහන් වේ ද, නො කැළඹේ ද, එ පරිදි ම පණ්ඩිතයෝ දහම් අසා වෙසෙසින් පහදිත්.
8.(83) බුද්ධාදී උත්තම පුරුෂයෝ ස්කන්‍ධාදි සියලු ධර්‍මයෙහි පවත්නා ඡන්‍දරාගය දුරු කෙරෙති. ඒ සත්පුරුෂයෝ වස්තුකාමයන් කැමැති ව, සිත් ගන්නා තෙපුල් නො පවසති. සුවයෙන් පහස්නා ලද නොහොත් දුකින් පහස්නා ලද නුවණැත්තෝ උස් පහත් ගති නො දක්වත්.
9.(84) පණ්ඩිත තෙම තමා හේතු කොට ගෙන ද (තමා පිණිස ද) පව් නො කරන්නේ ය. මෙරමා හේතු කොට ගෙන ද (අනුන් පිණිස ද) පව් නො කරන්නේ ය. පව්කම් කිරීමෙන් ලැබියැ යුතු පුතකුදු නො කැමැති වන්නේ ය. පව්කම් කිරීමෙන් ලැබියැ යුතු ධනය ද නො කැමැති වන්නේ ය. පව්කම් කිරීමෙන් ලැබියැ යුතු රට ද නො කැමැති වන්නේ ය. අධර්‍මයෙන් ලැබියැ යුතු සමෘද්ධිය ද නො කැමැති වන්නේ ය. මෙසේ වූ ඒ පුද්ගල තෙමේ සිල්වත් නමුදු ප්‍රඥාවත් නමුදු ධාර්මික නමුදු වන්නේ ය.
10.(85) මිනිසුන් අතුරෙහි යම් ජනකෙනෙක් නිර්‍වාණපාරයට (නිවන් නැමැති පරතෙරට) යන සුල්ලෝ ද, ඔහු ස්වල්පය හ. වැලි ඔවුන් කෙරෙන් අන්‍ය වූ (නිවනට නොයන සුලු) මේ සත්තවසමූහයා වූ කලි (සත්කාය සංඛාත) මෙ තෙර ම දිවැ ඇවිදිනේ ය.
11.(86) යම් නුවණැති කෙනෙක් මොනොවට දෙසන ලද පර්‍ය්‍යාප්තිධර්‍මයෙහි ධර්‍මානුවර්තී වෙත් ද (දහම් අනුව පිළිපදින්නෝ වෙත් ද), ඒ ජනයෝ තරණයට දුෂ්කර වූ, කෙලෙස්මරුට වාසස්ථාන වූ ත්‍රෛභූමක වෘත්තය ඉක්මැ (නිර්‍වාණ නමැති) පරතෙරට පැමිණෙන්නාහ.
12.(87) නුවණැත්තේ කළු දහම් (හෙවත් අකුසල්) දුරැ ලා, ආලයයෙන් (ගිහිගෙන්) නික්මැ පැවිදි බිමට පැමිණ (නොහොත් නිරාලය සංඛ්‍යාත නිවන පිණිස) සුදු දහම් (කුසල්) වඩන්නේ ය. යම් උපධිවිවේකයෙක්හි (නිවනෙක්හි) මේ සත්ත්‍වයන් විසින් ඇලෙන්නට නො හැකි ද,