4. පුෂ්ප වර්‍ගය
1.(44) කවරෙක් ආත්මභාවය සංඛ්‍යාත මේ පෘථිවිය ප්‍රත්‍යක්‍ෂ කොට දැන ගන්නේ ද? දෙව්ලොව සහිත මේ මිනිස්ලොවත් සිවු අපායත් ප්‍රත්‍යක්‍ෂ කොට දැන ගන්නේ ද? කවරෙක් දක්‍ෂ මල්කරුවකු මල් නෙලන්නා සේ සත්තිස් බෝපැකි දහම් ප්‍රත්‍යක්‍ෂ කරන්නේ ද?
2.(45) සත්වැදෑරුම් ශෛක්‍ෂ තෙම මේ පෘථිවිය (මේ අත්බව) ප්‍රත්‍යක්‍ෂ කරන්නේ ය. දෙව්ලොව සහිත මේ මිනිස්ලොව හා අපායලෝකය ප්‍රත්‍යක්‍ෂ කරන්නේ ය. ශෛක්‍ෂ තෙම දක්‍ෂ මල්කරුවකු මල් නෙලන්නාක් මෙන් සත්තිස් බොපැකිදහම් පසක් කරන්නේ ය.
3.(46) මහණ තෙම මේ කය පෙණ පිඬක් වැනි කොට දැන, මේ කය මිරිඟුවක් බඳු යැ යි ද දැන ගන්නේ, මාරයාගේ ප්‍රපුෂ්පකයන් (ත්‍රෛභූමක වෘත්තය) ආර්‍ය්‍ය මාර්‍ගයෙන් සිඳ මෘත්‍යුමාරයට අවිෂය වූ අමා මහනිවනට පැමිණෙන්නේ ය.
4.(47) මල් නෙලන්නකු මෙන් පස්කම් මල් සොයන, විවිධ කාමගුණයන්හි ඇලුණු සිතැති සත්ත්‍වයා, නිදන ගම්වැසියන් මුහුද කරා ගෙන යන ගැඹුරු මහ වතුරක් මෙන්, මෘත්‍යුමාර තෙම අපාය සංඛ්‍යාත මුහුදට ගෙන යයි.
5.(48) මල් නෙලන්නකු මෙන් පස් කම් ගුණ නැමැති මල් සොයන, විවිධ කාමගුණයන්හි ඇලුනු සිතැති, කාමයන්හි සෑහීමට නො පැමිණියා වූ ම සත්ත්‍වයා මර තෙම සිය වශයට පමුණුවයි.
6.(49) යම් සේ බමරෙක් මල ද පැහැය ද ගඳ ද නො නසමින් මල්රස පමණක් ගෙන නැගී යේ ද, එ පරිද්දෙන් ම මුනි තෙම ගමෙහි හැසිරෙන්නේ ය.
7.(50) මෙරමාගේ පරොස් බස් මෙනෙහි නො කරන්නේ ය (නො කට යුතු). මෙරමා කළ නො කළ දුසිරි සුසිරි නො බලන්නේ ය. තමා කළ දුසිරි ද නො කළ සුසිරි ද බලන්නේ ය (බැලිය යුතු).
8.(51) සිත්කලු වූ, මනා පැහැසටහන් ඇති, සුවඳ නැති මල් යම්සේ ද, එසේ ම මොනොවට දෙසන ලද ත්‍රිපිටක බුද්ධවචනය නො කරන්නහුට (ඇසීම ඉගැනීම දැරීම පිළිපැදීම නො කරන්නහුට) නිෂ්ඵල වේ.
9.(52) සිත්කලු වූ මනා පැහැති සුවඳැති මල යම්සේ ද, එසේ ම මනා කොට දෙසන ලද ත්‍රිපිටක බුද්ධවචනය එය කරන්නහුට සඵල වේ.
10.(53) දක්‍ෂ මාලාකාරයෙක් මල් රැසෙකින් යම්සේ බොහෝ මල්දම් කරන්නේ ද, එසේ ම උපන් සත්ත්‍වයා විසින් බොහෝ කුසල් කටයුතු.
11.(54) මල්සුවඳ උඩු සුළඟට නොයෙයි. සඳුන් තුවරලා සීනිද්ද බෝලිද්ද සුවඳ ද උඩු සුළඟට නො යෙයි. බුද්ධාදි සත්පුරුෂයන්ගේ සිල් ආදි ගුණසුවඳ උඩු සුළඟට යෙයි. සත්පුරුෂයා ගුණසුවඳින් සියලු දිගුන් පැතිරැ හමයි.
12.(55) සඳුන් තුවරලා මානෙල් දෑසමන් යන මෙකී සුවඳ දෑ අතුරෙහි බුද්ධාදීන්ගේ සිල් සුවඳ ම උතුම් ය.
13.(56) තුවරලා සඳුන් පිළිබඳ යම් සුවඳෙක් වේ ද, ඒ මේ සුවඳ ස්වල්පමාත්‍ර එකෙකි. සිල්වතුන්ගේ යම් උතුම් ගුණසුවඳෙක් වේ ද, එය දෙවියන් මිනිසුන් අතුරෙහි ද හමයි.
14.(57) පිරිපුන් සිල් ඇති, සිහියෙන් යුතු විසුම් ඇති, මනා කොට සිවු සස් දැන සියලු කෙලෙසුන්ගෙන් මිදුනු ඔවුන් ගිය මඟ මාර තෙම නොදනී.
15.(58) මහමඟැ බහා ලන ලද කසළ ගොඩෙක සුවඳැති සිත්කලු පියුමෙක් යම්සේ හටගැනේ ද,
16.(59) එසේ ම කසළගොඩක් බඳු වූ නුවණ නැති පුහුදුන් ලෝවැස්සා කෙරෙහි උපන්, සම්‍යක්සම්බුද්ධශ්‍රාවක (රහත්) තෙම ප්‍රඥායෙන් සෙස්සන් ඉක්ම බබලයි.
සිවුවන පුෂ්පවර්‍ගය යි.
5. බාල වර්‍ගය
1.(60) නොනිදන්නාට රැය දික් ය. ගමන් විඩා ඇත්තාට යොදුන දික් ය. සදහම් නොදත් අනුවණයනට සසර දික් ය.
2.(61) ශිලසමාධිප්‍රඥායෙන් තමාට වඩා උතුමකු හෝ තමා හා සම වූවකු හෝ සොයන තැනැත්තේ, එබන්දකු නො ලබන්නේ නම්, හුදෙකලා වැ විසීම දැඩි කරන්නේ ය. අනුවණයා කෙරෙහි යහලු බවෙක් නැත.
3.(62) ‘මට පුත්තු ඇත, මට ධනය ඇතැ’යි මෙසේ අඥාන තෙමේ දුකට පැමිණේ. ඒ එසේ ම ය. තෙමේත් තමහට නැත. පුත්‍රයෝ කොයින් ද? ධනයෙක් කොයින් ද?
4.(63) යමෙක් නුවණ නැත්තේ තමාගේ අනුවණබව දනී ද, ඒ කාරණයෙන් හෙ තෙම පණ්ඩිත හෝ වන්නේ ය. (පණ්ඩිත සමාන හෝ වන්නේ ය). යම් අනුවණයෙක් තෙමේ පණ්ඩිතමානී වේ ද (තමා පණ්ඩිතයෙකු කොට සිතා ද), ඒ පුද්ගල තෙමේ ඒකාන්තයෙන් අනුවණයෙකැ යි කියනු ලැබේ.
5.(64) අනුවණ පුගුල් තෙමේ දිවිහිමියෙනුදු නුවණැත්තන් සෙව්නේ ද, හෙ තෙම දහම් දැන නො ගන්නේ ය. සූපව්‍යංජන රසය නො දත හෙන සැන්ද මෙනි.
6.(65) නුවණැත්තේ මොහොතක් නමුදු බුද්ධාදි ප්‍රාඥයන් සෙව්නේ ද, හේ වහා (පර්‍ය්‍යාප්ති ප්‍රතිවේධ) ධර්‍මය දැන ගනී. සූපව්‍යංජනයෙහි රස දැන ගන්නා දිව මෙනි.