3. චිත්ත වර්‍ගය
1.(33) නොයෙක් අරමුණෙහි සැලෙන, (එක් අරමුණෙක නොපිහිටන හෙයින්) චපල වූ (අනවස්ථිත වූ), රක්නට දුෂ්කර වූ, (දුසිරිත් කෙරෙන් වළක්වන්නට දුෂ්කර වූ) සිත නුවණැත්තේ ඍජු කරන්නේ ය. හීවඩුවා හීදංඩක් ඇද මැඩ ඉදි කරන්නාක් මෙනි.
2.(34) උදක සංඛ්‍යාත වාසස්ථානයෙන් නගන ලද, ගොඩ බිම තබන ලද මසකු මේ (අභාවිත) සිත (නොයෙක් අරමුණෙහි පරිභ්‍රමණ වශයෙන්) සැලෙන්නේ ය. (එහෙයින් ම) මරධෙයය ( ක්ලේශවෘත්තය) පහ කටයුතු යි.
3.(35) නිගන්නට (මට්ටු කැරැ ගන්නට) නොපිළිවන්, ලඝු වූ (වහා ඉපිද වහා බිඳෙන සුලු), (යුතු හෝ අයුතු) යම් කැමැති අරමුණෙක ගෙන සුලු වූ සිත (අරී මඟින්) නිපොපි කිරීම මැනැවි. මේ සිත දැමුනේ (නිපොපි කැරුනේ) මඟපල සුව ද නිවන් සුව ද එළවන්නේ ය. (එහෙයිනි)
4.(36) දක්නට ඉතා නොපිළිවන්, ඉතා සියුම් වූ, යම් කැමැති අරමුණෙක බැස වැටෙන සුලු වූ සිත නුවණැත්තේ රක්නේ ය. සිත (නොයෙක් අරමුණෙහි විසිර පැවැත්ත නො දී එක් භාවනා අරමුණෙහි පිහිටුවා) රක්නා ලද්දේ ලොවී ලොවුතුරා සුව එළවන්නේ ය.
5.(37) (යොදුන් දහසෙකින් දුර වූ ද අරමුණු ගන්නා බැවින්) දුරට යන්නා වූ ම, හුදෙකලා හැසිරෙන (එක් විට දෙසිතක් නො ඉපද එක් සිතක් ම උපදනා බැවින් එකක් ව ම හැසිරෙන), (අරූපී ධර්‍ම බැවින් පැහැ සටහන් නැත්නු යි) අශ්රිර වූ, (ශරීර නැමැති) ගුහායෙහි පවත්නා වූ සිත යම් කෙනෙක් සංවරයෙහි පිහිටුවද්ද, ඔහු මාරබන්‍ධනයෙන් (ත්‍රෛභූමක වෘත්තයෙන්) මිදෙන්නාහු ය.
6.(38) (දහවෙයියා රැසෙක හිඳු වූ කණුවක් මෙන් කලෙක නිවටු ව ද කලෙක තවුස් ව ද කලෙක ගිහි ව දැ යි යන ආදි වශයෙන්) අනවස්ථිත සිත් ඇති, (බෝපැකි) දහම් නොදන්නා, (අචල ප්‍රසාදයෙහි නො පිහිටි හෙයින් හෝ සැදැහැ මඳ හෙයින්) ඉපිලෙන සැදැහැ ඇත්තාහට (කාමාවචරාදි ප්‍රභේද ඇති) ප්‍රඥාව නො පිරෙයි.
7.(39) රාගයෙන් නොතෙත් වූ සිතැති, ද්වේෂයෙන් නොපැහැරුණු සිතැති, (රහත්මඟින්) කුසල් අකුසල් ප්‍රහීණ කළ, (ශ්‍රද්ධාදී පංච ජාගර ධර්‍මයෙන් යුක්ත බැවින්) නො නිදන රහත්හට කෙලෙසුන්ගෙන් බියෙක් නැත.
8.(40) මේ ශරීරය කුඹල්බඳුනක් වැනි යැ යි දැන, මේ විදර්‍ශනාචිත්තය ස්ථිර නුවරක් සේ තබා, ප්‍රඥා නැමැති ආයුධයෙන් ක්ලේශමාරයා පහරින්නේ ය. උපදවන ලද තරුණ විදර්‍ශනාව රක්නේ ය. සමාපත්තිය ගෙය කොට ගෙණ එහි නො වසන්නේ ය.
9.(41) මහණ, තාගේ මේ කය නොබෝ කලෙකින් ඒකාන්තයෙන් පහ වූ සිතැති ව, ඉවත ලන ලදු ව, දිරා ගිය දඬු කඩක් මෙන් පොළොව මත හෝනේ ය.
10.(42) සොරෙක් සොරකු දැක ඔහුට යම් නපුරක් කෙරේ ද, බද්ධ වෛර ඇතිපුද්ගලයෙක් වෙර බඳුනකු දැක ඔහුට යම් අවැඩක් කෙරේ ද, වරදවා පිහිටුවන ලද සිත එයට වඩා ඔහු පවිටකු කරන්නේ ය.
11.(43) ඒ කරුණ සිය මව නො ද කරන්නී ය. පිය තෙම නො ද කරන්නේ ය. සෙසු නෑයෝ නො ද කරන්නා හ. මොනොවට පිහිටුවන ලද සිත ඒ කුශලක්‍රියාවන්හි පිහිටීම් හේතුවෙන් ඒ පුද්ගලයා වඩා උතුමකු කරන්නේ ය.
තෙවෙනි චිත්තවර්‍ගය යි.
4. පුෂ්ප වර්‍ගය
1.(44) කවරෙක් ආත්මභාවය සංඛ්‍යාත මේ පෘථිවිය ප්‍රත්‍යක්‍ෂ කොට දැන ගන්නේ ද? දෙව්ලොව සහිත මේ මිනිස්ලොවත් සිවු අපායත් ප්‍රත්‍යක්‍ෂ කොට දැන ගන්නේ ද? කවරෙක් දක්‍ෂ මල්කරුවකු මල් නෙලන්නා සේ සත්තිස් බෝපැකි දහම් ප්‍රත්‍යක්‍ෂ කරන්නේ ද?
2.(45) සත්වැදෑරුම් ශෛක්‍ෂ තෙම මේ පෘථිවිය (මේ අත්බව) ප්‍රත්‍යක්‍ෂ කරන්නේ ය. දෙව්ලොව සහිත මේ මිනිස්ලොව හා අපායලෝකය ප්‍රත්‍යක්‍ෂ කරන්නේ ය. ශෛක්‍ෂ තෙම දක්‍ෂ මල්කරුවකු මල් නෙලන්නාක් මෙන් සත්තිස් බොපැකිදහම් පසක් කරන්නේ ය.
3.(46) මහණ තෙම මේ කය පෙණ පිඬක් වැනි කොට දැන, මේ කය මිරිඟුවක් බඳු යැ යි ද දැන ගන්නේ, මාරයාගේ ප්‍රපුෂ්පකයන් (ත්‍රෛභූමක වෘත්තය) ආර්‍ය්‍ය මාර්‍ගයෙන් සිඳ මෘත්‍යුමාරයට අවිෂය වූ අමා මහනිවනට පැමිණෙන්නේ ය.
4.(47) මල් නෙලන්නකු මෙන් පස්කම් මල් සොයන, විවිධ කාමගුණයන්හි ඇලුණු සිතැති සත්ත්‍වයා, නිදන ගම්වැසියන් මුහුද කරා ගෙන යන ගැඹුරු මහ වතුරක් මෙන්, මෘත්‍යුමාර තෙම අපාය සංඛ්‍යාත මුහුදට ගෙන යයි.
5.(48) මල් නෙලන්නකු මෙන් පස් කම් ගුණ නැමැති මල් සොයන, විවිධ කාමගුණයන්හි ඇලුනු සිතැති, කාමයන්හි සෑහීමට නො පැමිණියා වූ ම සත්ත්‍වයා මර තෙම සිය වශයට පමුණුවයි.
6.(49) යම් සේ බමරෙක් මල ද පැහැය ද ගඳ ද නො නසමින් මල්රස පමණක් ගෙන නැගී යේ ද, එ පරිද්දෙන් ම මුනි තෙම ගමෙහි හැසිරෙන්නේ ය.
7.(50) මෙරමාගේ පරොස් බස් මෙනෙහි නො කරන්නේ ය (නො කට යුතු). මෙරමා කළ නො කළ දුසිරි සුසිරි නො බලන්නේ ය. තමා කළ දුසිරි ද නො කළ සුසිරි ද බලන්නේ ය (බැලිය යුතු).
8.(51) සිත්කලු වූ, මනා පැහැසටහන් ඇති, සුවඳ නැති මල් යම්සේ ද, එසේ ම මොනොවට දෙසන ලද ත්‍රිපිටක බුද්ධවචනය නො කරන්නහුට (ඇසීම ඉගැනීම දැරීම පිළිපැදීම නො කරන්නහුට) නිෂ්ඵල වේ.
9.(52) සිත්කලු වූ මනා පැහැති සුවඳැති මල යම්සේ ද, එසේ ම මනා කොට දෙසන ලද ත්‍රිපිටක බුද්ධවචනය එය කරන්නහුට සඵල වේ.