25. භික්‍ෂු වර්‍ගය
1.(360) ඇසින් (චක්‍ෂුර්ද්වාරයෙන්) සංවරය යහපති. කණින් (ශ්‍රෝත්‍රද්වාරයෙන්) සංවරය යහපති. නැහැයෙන් (ඝ්‍රාණද්වාරයෙන්) සංවරය යහපති. දිවින් (ජිහ්වාද්වාරයෙන්) සංවරය යහපති.
2.(361) කයින් (කායද්වාරයෙන්) සංවරය මැනැවි. වචසින් (වාග්ද්වාරයෙන්) සංවරය යහපති. සිතින් (මනෝද්වාරයෙන්) සංවරය යහපති. චක්‍ෂුරාදි වූ සදොර රැකීම මැනැවි. චක්‍ෂුරාදි සදොරෙහි ම සංවෘත වූ භික්‍ෂු තෙම සියලු සසර දුකින් මිදෙයි.
3.(362) (යමෙක්) අතින් සංයත ද, පයින් සංයත ද, වචනයෙන් සංයත ද, කයින් සංයත ද, කමටහන් වැඩීමෙහි ඇලුනේ ද, සමාධියෙන් යුක්ත ද, එකලා ව හැසිරෙන්නේ ද, තුටු සිතැත්තේ ද, ඔහු භික්‍ෂුහු කොට කියති.
4.(363) මුඛසංයත වූ යම් මහණෙක් නුවණින් යෙදී බණන සුලු ද, සන්හුන් සිතැත්තේ ද, අර්‍ත්‍ථයත් පාළියත් සකසා දක්වා ද, ඔහුගේ වචනය මිහිරි වෙයි.
5.(364) (ශමථවිදර්‍ශනා) ධර්‍ම නිවාසස්ථාන කොට ඇති, ධර්‍මයෙහි ඇලුනු, ධර්‍මය නැවත නැවත සිතන, ධර්‍මය නැවත නැවත සිහි කරන භික්‍ෂු තෙම සද්ධර්‍මයෙන් නො පිරිහෙයි.
6.(365) ස්වකීය ලාභයට (තමා ලත් දැයට) අවමන් නො කරන්නේ ය. මෙරමාගේ ප්‍රණීත වූ ලාභය පතමින් නො හැසිරෙන්නේ ය. අනුන්ගේ ප්‍රත්‍යයලාභය කැමැති වන භික්‍ෂු තෙම සමාධියට නො පැමිණෙයි.
7.(366) ප්‍රත්‍යයලාභී නො වූ ද මහණ තෙම ඉදින් (ගෙපිළිවෙළින් සිඟා ලත්) තමාගේ ලාභය හෙලා නො දක්නේ ද, පිරිසිදු වූ ජීවිකා ඇති (ජඞ්ඝාබල නිසා ජීවත් වන බැවින්) අකුසීත වූ ඒ මහණහට ඒකාන්තයෙන් දෙවියෝ ද ස්තුති කෙරෙත්.
8.(367) යමකුහට නාමරූප දෙක්හි සර්‍වප්‍රකාරයෙන් ම මමායනයෙක් (මම ය මගේ යැ යි ආත්ම ආත්මීය වශයෙන් ගැන්මෙක්) නැද්ද, ඒ නාමරූප නැසී යෑම හේතු කොට ගෙණත් ශෝක නො කෙරේ ද, ඒ ක්‍ෂීණාස්‍රව තෙම භින්නක්ලේශ බැවින් භික්‍ෂු යැ යි කියනු ලැබේ.
9.(368) යම් මහණෙක් මෛත්‍රීවිහරණ ඇත්තේ ද, බුදුසස්නෙහි අචල ශ්‍රද්ධා ඇත්තේ ද, එ බඳු මහණ තෙම සියලු සංස්කාරයන් සන්හිඳුවන අත්‍යන්ත සුඛය වූ ශාන්තපදය (නිවණ) ලබන්නේ ය.
10.(369) මහණ, මේ (අත්බව් නැමැති) නැව (එහි වූ මිත්‍යාවිතර්‍ක නැමැති ජලය ඉසීමෙන්) ඉස පිය. තා විසින් ඉස පියන ලද එය වහා ම (සසර සයුරැ නො ඇලී) නිවන්පුරට යන්නේ ය. රාග බැම්ම ද ද්වේෂ බැම්ම ද සිඳ ඉක්බිත්තෙන් නිවණට පැමිණෙන්නෙහි ය.
11.(370) (සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාස කාමරාග ව්‍යාපාද යන) සංයෝජන පස (සෝවාන් ආදි යට තුන් මඟින්) සිඳින්නේ ය. (රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යන) උද්ධම්භාගිය සංයෝජන පස රහත් මඟින් සිඳැ දුරැ ලන්නේ ය. (උද්ධම්භාගිය සංයෝජනයන් නසනු පිණිස) ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රිය පස අධික කොට වඩන්නේ ය. මෙසේ කොට (රාග ද්වේෂ මෝහ මාන දෘෂ්ටි යන) සඞ්ග පස ඉක්මුනු මහණ තෙම කාමෝඝාදි සතර මහ වතුරෙන් එතෙර වූයේ යැ යි කියනු ලැබේ.
12.(371) මහණ, ධ්‍යාන වඩව. තුන් සුසිරිතෙහි පමා නො වව. තාගේ සිත පස්කම් කොටස්හි නහමක් බමව. පමා වූයේ (පස්කම්හි ගිජු වූයේ) නිරයෙහි ඉපිද ලොහොගුළ නො ගිල. නිරා ගින්නෙහි දැවෙමින් මේ දුකැ යි නහමක් හඬ.
13.(372) (ධ්‍යානෝත්පාදක වීර්‍ය්‍ය සම්ප්‍රයුක්ත) ප්‍රඥාව නැත්තහුට ධ්‍යානයෙක් නැත. භාවනා නො කරන්නාට ප්‍රඥාව නැත. යමක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇද්ද, හෙ තෙම ඒකාන්තයෙන් නිවනට සමීප ව සිටියේ ම වේ.
14.(373) ශුන්‍යාගාරයකට (ජනවිවික්තස්ථානයකට) වන්, නිවුණු සිත් ඇති, රූපාරූපධර්‍ම මොනවට අනිත්‍යාදි වශයෙන් වෙසෙසින් බලන මහණහට අමානුෂක වූ (අෂ්ටසමාපත්ති සංඛ්‍යාත වූ) දිව්‍ය රතිය වේ.
15.(374) යම් යම් කලෙක රූපාදි ස්කන්‍ධයන්ගේ උදය ව්‍යය දෙක සම්මර්‍ශනය කෙරේ ද (නුවණින් සලකා ද), එකල්හි යම් ධර්‍මප්‍රීතියක්, ධර්‍මප්‍රාමෝද්‍යයක් ලබා ද, එය නුවණැත්තවුනට (අමා මහ නිවන් පමුණුවන හෙයින්) අමා නම් වේ.
16.(375) මේ සස්නෙහි නුවණැති මහණහට ඒ ස්කන්‍ධයන්ගේ උදයව්‍යය දෙක සැලැකීමෙහි මෙ සිවු පිරිසිදු සිල් පූර්‍වස්ථානය (පූර්‍ව කාරණය) වේ. හේ කවර හ? යත්: ඉන්‍ද්‍රිය සංවරය ද, සිවු පසයෙහි (යථාලාභ යථාබල යථාසාරූප්‍ය විසින් ත්‍රිවිධ වූ) සතුට ද, පාතිමොක්ඛයෙහි (ප්‍රධාන ශීලයෙහි) පරිපූරකාරී බව ද යන මෙය යි.