26. බ්‍රාහ්මණ වර්‍ගය
1.(383) බමුණ, වීර්‍ය්‍ය කොට තෘෂ්ණා දියපහර සිඳ පිය. (එය පිණිස) වස්තුකාම ක්ලේශකාමයන් (සිතෙන්) පහ කරව. බමුණ, සංස්කාරයන්ගේ විනාශය විවසුන් නුවණින් දැන, අකෘතඥ (නිවන් දන්නේ) වෙහි ය.
2.(384) බමුණු තෙම (හෙවත් රහත් තෙම) යම් කලෙක ශමථවිදර්‍ශනා දහම් දෙක්හි පර තෙරට ගියේ වේ ද, එ කලැ චතුස්සත්‍යයන් මොනොවට දන්නා ඒ ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණයාගේ සියලු සංයෝගයෝ (කාමයොගාදීහු) ක්‍ෂයයට පැමිණෙන්නාහ.
3.(385) යම් ආර්‍ය්‍යශ්‍රාවකයක්හට එතෙර ද (හෙවත් ආධ්‍යාත්මික ෂඩායතනය ද) මෙ තෙර ද (හෙවත් බාහිර ෂඩායතනය ද) එ තෙර මෙ තෙර දෙක ම ද නැත්තේ නම් (මම යැ යි මගේ යැ යි ගැන්මෙක් නැත්තේ නම්) පහ වූ ක්ලේශපීඩා ඇති, සියලු කෙලෙසුන් ගෙන් වෙන් වූ ඒ රහත්හු බ්‍රාහ්මණ නැමැ යි මම් කියමි.
4.(386) ධ්‍යාන කරණ (ශමථ විදර්‍ශනා වඩන), රාගාදි රජස් නැති, හුදෙකලා වැ හුන්, සිවු මඟින් කළ සොළොස් වැදෑරුම් කිස ඇති, අනාස්‍රව වූ, උත්තමාර්‍ත්‍ථයට (රහත් පලයට) පැමිණි ඒ රහත්හු බ්‍රාහ්මණයකු කොට මම් කියමි.
5.(387) හිරු දහවල්හි දිලිසෙයි. සඳු රැයෙහි දිලිසෙයි. රජ තෙම අබරණින් සැරැහී සිවුරඟ සෙනඟින් පිරිවැරුනේ ම දිලිසෙයි. (හොබනේයි). බමුණු තෙම (හෙවත් රහත් තෙම) සමවතට සමවන්නේ දිලිසෙයි (හොබනේයි). නැවැත සියලු දිවා රෑ දෙක්හි සම්‍යක්සම්බුද්ධ තෙම (චරණ ගුණ ඥාන පුණ්‍ය ධර්‍ම යැ යි පස්වැදෑරුම් වූ) තේජසින් දිලිසෙයි.
6.(388) යම් හෙයෙකින් සන්තානයෙන් බැහැර කරණ ලද පාප ධර්‍ම ඇත්තේ නු යි බ්‍රාහ්මණ නැමැ යි කියනු ලැබේ ද, අකුසල් සන්සිඳුවා වසන හෙයින් ශ්‍රමණ යැ යි කියනු ලැබේ ද, එසේ ම යම්හෙයෙකින් තමාගේ රාගාදි මල (තදඞ්ගප්‍රහාණාදියෙන්) පහ කෙරේ ද, එ හෙයින් ප්‍රව්‍රජිතයා යී කියනු ලැබේ.
7.(389) බමුණු තෙමේ (රහත් තෙමේ) බමුණකුට (රහත්බමුණකුට හෝ ජාති බමුණකුට) පහර නො දෙන්නේ ය. බමුණු තෙම (රහත් තෙම) තමාට පහර දුන් පුද්ගලයාට කෝප නො කරන්නේ ය. බමුණහුට පහර දෙන්නහුට නින්‍දා වේ වා. යමෙක් තමාට පහර දුන්නහුට කෝප කෙරේ නම් ඒ පහර දුන්නහුට වඩා ඔහුට නින්‍දා වේ වා.
8.(390) (පහර දුන්නහුට පෙරළා පහර නොදීමය, පරොස් බසින් බිණුවහුට පෙරළා නොබිණීමය යන) මෙය රහත් බමුණුහට ස්වල්පමාත්‍ර වූ ද ශ්‍රෙයසෙක් නො වේ. යම් කලෙක්හි ක්‍රෝධී පුද්ගලයාගේ මනසට ප්‍රිය වූ ක්‍රෝධචිත්තෝත්පාදය කෙරෙන් යම් වැළැක්මෙක් වේ ද, මේ ක්‍රෝධනිග්‍රහය ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණයාහට ස්වල්පමාත්‍ර වූ ශ්‍රෙයසෙක් නො වේ (මහත් වූ ශ්‍රෙයසෙකි). යම් යම් කරුණෙකින් ක්‍රෝධ සිත නවතී ද, ඒ ඒ කරුණින් සසර දුක සන්හිඳේ ම ය.
9.(391) යම් පුගුලකුගේ කයින් ද වචසින් ද මනසින් ද සිදු වන අකුශල කර්‍මයෙක් නැද්ද, මේ තුන් තැනින් (මේ තුන් දොරින් වදනා අකුසලුන්ගේ වැළැක්ම පිණිස) වැසුනු දොර ඇති ඒ ක්‍ෂීණාස්‍රවයා බමුණකු කොට මම් කියමි.
10.(392) යමක්හු කෙරෙන් සම්‍යක්සම්බුද්ධයන් විසින් දෙසන ලද්දා වූ පර්‍ය්‍යාප්ති ධර්‍මය යමෙක් දන්නේ වී නම්, ඒ ආචාර්‍ය්‍යයා අග්නිහෝත්‍රයට පූජා කරණ බමුණකු මෙන් සකසා නමඳින්නේ ය.