13.(372) (ධ්‍යානෝත්පාදක වීර්‍ය්‍ය සම්ප්‍රයුක්ත) ප්‍රඥාව නැත්තහුට ධ්‍යානයෙක් නැත. භාවනා නො කරන්නාට ප්‍රඥාව නැත. යමක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇද්ද, හෙ තෙම ඒකාන්තයෙන් නිවනට සමීප ව සිටියේ ම වේ.
14.(373) ශුන්‍යාගාරයකට (ජනවිවික්තස්ථානයකට) වන්, නිවුණු සිත් ඇති, රූපාරූපධර්‍ම මොනවට අනිත්‍යාදි වශයෙන් වෙසෙසින් බලන මහණහට අමානුෂක වූ (අෂ්ටසමාපත්ති සංඛ්‍යාත වූ) දිව්‍ය රතිය වේ.
15.(374) යම් යම් කලෙක රූපාදි ස්කන්‍ධයන්ගේ උදය ව්‍යය දෙක සම්මර්‍ශනය කෙරේ ද (නුවණින් සලකා ද), එකල්හි යම් ධර්‍මප්‍රීතියක්, ධර්‍මප්‍රාමෝද්‍යයක් ලබා ද, එය නුවණැත්තවුනට (අමා මහ නිවන් පමුණුවන හෙයින්) අමා නම් වේ.
16.(375) මේ සස්නෙහි නුවණැති මහණහට ඒ ස්කන්‍ධයන්ගේ උදයව්‍යය දෙක සැලැකීමෙහි මෙ සිවු පිරිසිදු සිල් පූර්‍වස්ථානය (පූර්‍ව කාරණය) වේ. හේ කවර හ? යත්: ඉන්‍ද්‍රිය සංවරය ද, සිවු පසයෙහි (යථාලාභ යථාබල යථාසාරූප්‍ය විසින් ත්‍රිවිධ වූ) සතුට ද, පාතිමොක්ඛයෙහි (ප්‍රධාන ශීලයෙහි) පරිපූරකාරී බව ද යන මෙය යි.
17.(376) පිරිසිදු ආජීව ඇති, අකුසීත වූ, කලණ මිතුරන් සෙව්නේ ය. පිළිසඳර පැවැතුම් (ධර්‍මාමිෂ දෙකින් සංග්‍රහ කරණ බව) ඇත්තෙක් වන්නේ ය. (ශීලය ද වත්පිළිවෙත් කිරීම ද යන) ආචාරයෙහි දක්‍ෂ වන්නේ ය. එයින් (එ පිළිසඳර පැවැතුම් ආචාරයෙහි දක්‍ෂ බව යන දෙකින් උපන් ධර්‍මප්‍රාමෝද්‍යයෙන්) ප්‍රීතිබහුල වූ තෝ සසර දුක් කෙළවර කරන්නෙහි.
18.(377) පර වැ මැලැවී ගියා වූ මල් වස්සිකා ලතාව (සමන් වැල්) (යම්සේ තුවටුයෙන් මුදා බිමැ හෙළා පියා ද), එ පරිද්දෙන් ම මහණෙනි, රාගය ද ද්වේෂය ද තොපගේ සන්තානයෙන් මුදා හැර පියවු.
19.(378) ශාන්ත වූ කායද්වාර ඇති, ශාන්ත වූ වාග්ද්වාර ඇති, ශාන්ත වූ මනෝද්වාර ඇති, තුන්දොර මොනොවට පිහිටි, පහ කළ ලෝකාමිෂය (හෙවත් පස්කම්ගුණ) ඇති මහණ තෙම උපශාන්තයැ යි කියනු ලැබේ.
20.(379) යුෂ්මත් තෙමේ තමාට චෝදනා කරව. තෝ ම තා පිරික්සා කරව. මහණ, එසේ වූ තෝ තමා විසින් ම රක්නා ලද්දෙහි ස්මෘතිමත් වූයෙහි (සිවු ඉරියවුහි ම) සුවයෙන් වසන්නෙකි.
21.(380) යම් හෙයෙකින් තෙමේ තමාගේ පිහිට වේ ද, යම් හෙයෙකින් තෙමේ ම තමාගේ පිළිසරණ වේ ද, එහෙයින් උතුම් අසකු (කවා පොවා) රක්නා අස්වෙළෙඳක්හු මෙන්, (අකුසලුන් සිතැ වැද්දැ නො දී) තමා මොනොවට රක්නේ ය.
22.(381) පියෙවියෙන් ම බුදුරජුන් කෙරෙහි සතුට බහුල වූ, බුදුසස්නෙහි පහන් වූ මහණ තෙම එ හෙයින් ම ඒකාන්ත සුඛ වූ ශාන්තපදයට (නිවනට) පැමිණෙන්නේ ය.
23.(382) ළදරු වූ යම් මහණෙක් බුද්ධානුශාසනයෙහි (හෙවත් කමටහන්හි) යෙදේ ද, හෙ තෙම වලාපටලින් මිදුනු පුන්සඳුහු මෙන් මෙ ලොව ඒකාන්තයෙන් නුවණ එළියෙන් බබුළුවන්නේ ය.
පස්විසි වන භික්‍ෂුවර්‍ගය යි.
26. බ්‍රාහ්මණ වර්‍ගය
1.(383) බමුණ, වීර්‍ය්‍ය කොට තෘෂ්ණා දියපහර සිඳ පිය. (එය පිණිස) වස්තුකාම ක්ලේශකාමයන් (සිතෙන්) පහ කරව. බමුණ, සංස්කාරයන්ගේ විනාශය විවසුන් නුවණින් දැන, අකෘතඥ (නිවන් දන්නේ) වෙහි ය.
2.(384) බමුණු තෙම (හෙවත් රහත් තෙම) යම් කලෙක ශමථවිදර්‍ශනා දහම් දෙක්හි පර තෙරට ගියේ වේ ද, එ කලැ චතුස්සත්‍යයන් මොනොවට දන්නා ඒ ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණයාගේ සියලු සංයෝගයෝ (කාමයොගාදීහු) ක්‍ෂයයට පැමිණෙන්නාහ.