24. තෘෂ්ණා වර්‍ගය
1.(334) පමා වැ වසන පුරුෂයාට තෘෂ්ණාව (රුකට) මාලුවා වැලක් මෙන් ඔහුගේ විනාශය පිණිස වැඩෙයි. ඒ තෘෂ්ණාවශග පුද්ගල තෙම වනයෙහි පල කැමැති (වැ රුකින් රුකට පනන) වඳුරකු මෙන් භවයෙන් භවයට දිවැ යන්නේ ය.
2.(335) අරමුණෙහි ඇලෙන ලාමක වූ මේ තෘෂ්ණාව යමකු මැඩැ පවතී ද, ඒ පුඟුලාහට මහවැස්සෙන් තෙමුනු හොට තණ (වැඩෙන්නා) සේ ශෝකයෝ වඩනාහු ය.
3.(336) ලාමක වූ ඉක්මිය නොහැකි වූ මේ තෘෂ්ණාව යමෙක් වනාහි මැඩ පවතී ද, ඔහු කෙරෙන් ශෝකයෝ පොකුරුපතින් දියබිඳු සේ ගිලිහෙන්නාහු ය. (පහ වන්නාහු ය).
4.(337) යම් පමණ කෙනෙක් මෙහි රැස් වූහු ද, ඒ තොප හැම දෙනාට වැඩෙක් වේ වා. ඒ කාරණයෙන් තොප හැම දෙනාහට මේ අවවාදය කියමි. එ නම්: සුවඳහොටමුලින් ප්‍රයෝජන ඇතියක්හු මෙන් තෘෂ්ණාවගේ මුල (හෙවත් අවිද්‍යාව) කණිවු. ගංතෙර හටගත් රණහුණ හෝ බටහුණ පඳුරක් කැණ ගෙණ යන වතුරක් මෙන් (ක්ලේශ මෘත්‍යු දිව්‍යපුත්‍ර යන ත්‍රිවිධ වූ) මාර තෙම නැවැත නැවැත තොප නහමක් බිඳී වා.
5.(338) යම්සේ වෘක්‍ෂයක්හුගේ මූලය උපද්‍රවයකට නොපැමිණ ස්ථිරත්‍වයට පත් කලැ ඒ වෘක්‍ෂය සිඳින ලද්දේ නමුදු යලිත් වැඩේ ද, එසේ මැ තෘෂ්ණාවගේ අනුශය සිඳ නොපියන ලද කල මේ දුඃඛජාතය නැවත නැවතත් උපදී.
6.(339) යම් කිසිවකුහට සතිස් වැදෑරුම් තෘෂ්ණාශ්‍රෝතසින් සමන්‍විත වූ මනාප වූ රූපාදි අරමුණෙහි ස්‍රවණය වන්නාවූ තෘෂ්ණා තොමෝ බලවත් වැ උපදී ද, අඥ වූ ඒ පුද්ගලයා රාගය ඇසුරු කළාවූ විතර්‍කයෝ බලවත් වූවාහු අපායට පමුණුවතී.
7.(340) තෘෂ්ණාප්‍රවාහයෝ හැම තන්හි පවත්නාහු වෙති. ලතා නම් වූ තෘෂ්ණා තොමෝ සදොරෙහි ඉපද රූපාදි අරමුණෙහි පවතී. වනයෙහි ජාත වූ ඒ තෘෂ්ණාලතාව දැක මාර්‍ගප්‍රඥාවෙන් මුලින් මැ සිඳ ලවු.
8.(341) රූපාදි අරමුණෙහි විසිර ගියාවූ තෘෂ්ණාස්නේහයෙන් ගැල්වුන සොම්නස්හු තෘෂ්ණාවශික සත්ත්‍වයාහට වෙති. ඒ පුද්ගලයෝ පස්කම් සුව ඇසුරු කළාහු සැප සොයන සුල්ලෝ වෙති. එබඳු සත්ත්‍වයෝ ජාතිජරාව්‍යාධිමරණයනට ඒකාන්තයෙන් පැමිණෙත් මැ යැ.
9.(342) තෘෂ්ණාව විසින් පිරිවරන ලද්දාවූ සත්ත්‍වයෝ බඳනා ලද සාවකු මෙන් බිය වෙති. සංයෝජනසඞ්ගයෙන් බැඳුනාහු බොහෝ කල් නැවත නැවතත් දුකට පැමිණෙති.
10.(343) තෘෂ්ණාව විසින් පිරිවරණ ලද (හෙවත් වළඳනාලද) මේ සත්හු (වැද්දා විසින්) බඳනා ලද සාවකු මෙන් බිය පත් වන්නාහ. එහෙයින් රාගවිගමනය (නිවන) කැමති වන මහණ තෙම තෘෂ්ණාව රහත්මඟ නැණින් ප්‍රහීණ කරන්නේ ය.
11.(344) යමෙක් තෘෂ්ණා රහිත වූයේ, තපෝවනයෙහි (දිව්‍යවිහාරයෙහි) ඇලුනේ, තෘෂ්ණාවනයෙන් (ගිහිබැම්මෙන්) මිදුනේ, නැවැත ගිහිබැම්මට ම දිවේ ද, එවු, ඒ පුද්ගලයා මෙසේ ව්‍යසනයට පැමිණියහු බලවු.
12.(345) යකඩින් කරණ ලද්දා වූ ද දඬුයෙන් කරණ ලද්දා වූ ද බබුස් තණින් කරණ ලද්දා වූ ද යම් බන්‍ධනයෙක් වේ ද, ඒ සියල්ල ම (කඩු ආදියෙන් සින්දැ හැකි බැවින්) දැඩි බැඳුම් යැ යි පණ්ඩිතයෝ නො කියති. මිණිකොඬොල්හි ඉතා ඇලුනාවු යම් කෙනෙක් වෙත් නම් (ඔවුන්ගේ ඒ රාගය ද,) දූදරුවන් කෙරෙහිත් අඹුවන් කෙරෙහිත් යම් අපේක්‍ෂාවෙක් (තෘෂ්ණාවෙක්) වේ ද,
13.(346) මේ කෙලෙස් බැම්ම ප්‍රාඥයෝ (අපායෙහි ඇද හෙලන හෙයින්) යට බලා යන්නා වූ, (බැඳි තැන සිවි ආදිය නො සිඳ ලේ නො සොල්ලා බැඳි බව ද නො දන්වා හැම කර්‍මාන්ත ද කරණුවට අවසර දෙන හෙයින්) ලිහිල් වූ, උනා හැරපියන්නට දුෂ්කර වූ දැඩි බැම්ම යැ යි කියත්. (නුවණැත්තෝ) මෙය පවා (නුවණ කගින්) සිඳ, (වස්තුකාම ක්ලේශකාමයෙහි) අපේක්‍ෂා නැත්තෝ කම්සුව හැර පැවිදි වන්නාහ.
14.(347) රාගයෙන් රත් වූ (ද්වේෂයෙන් ද්විෂ්ට වූ මෝහයෙන් මූඪ වූ) යම් සත්ත්‍ව කෙනෙක් තමන් විසින් කරණ ලද දැල අනුව පවත්නා එහි ම වැද හෝනා මකුළුවා මෙන්, තමන් ම උපදවා ගත් තෘෂ්ණාස්‍රෝතයෙහි ම වැටී හෙත් ද, ප්‍රාඥයෝ වනාහි මෙය ද සිඳ පියා විවිධ කාමයෙහි නිරාලය ව සියලු දුක් දුරැ ලා නිවන් පුර යන්නාහ.
15.(348) අතීත පස්කඳ කෙරෙහි තෘෂ්ණාව හරු. අනාගත පස්කඳ කෙරෙහි තෘෂ්ණාව ද හරු. වර්‍තමාන පස්කඳ කෙරෙහි තෘෂ්ණාව ද හරු. මෙසේ තුන් භවයේ පර තෙරට ගිය හෝ හැම ප්‍රත්‍යයසමුත්පන්නධර්‍ම කෙරෙන් මිදුනු සිත් ඇත්තෙහි, නැවත ජාතියට ජරාවට නො පැමිණෙන්නෙහි.
16.(349) කාමවිතර්‍කාදි අකුශලවිතර්‍කයෙන් මැඩුනු, දැඩි කාමරාග ඇති, අරමුණු ශුහ වශයෙන් බලන සුලු වූ සත්ත්‍වයාහට බොහෝ කොට ම තෘෂ්ණාව වැඩේ. මේ පුද්ගල තෙම වනාහි තෘෂ්ණාබන්‍ධනය තර කරන්නේ ය.