23. නාග වර්ගය
1.(320) යම් හෙයකින් ලෞකික මහ ජන තෙම ශීලසංවරයෙන් විනිර්මුක්ත ද එ හෙයින් දුන්නෙන් ගිලිහී තමන් වෙරැ හුණු ශරප්රහාරයන් ඉවසන ඇතකු මෙන් මම් (මෙරමාගේ) රළු බස් ඉවසමි.
2.(321) බොහෝ දෙනා රැස් වන තැනකට දැමුනු සතකු පමුණුවත්, රජ ද දැමුනු ඇතකු හෝ අසකු පිට නගී. යමෙක් රළු බස් ඉවසා ද හෙ තෙම සිවු අරියමගින් දාන්ත වූයේ මිනිසුන් අතුරෙහි උතුම් වෙයි.
3.(322) අශ්වතරයෝ ද දැමුනාහු මැ උතුම් වෙත්. අජානේය නම් අශ්වයෝ ද දැමුනාහු උතුම් වෙත්. සෛන්ධව අශ්වයෝ ද දැමුනාහු මැ උතුම් වෙත්. ඇත්තු ද දැමුනාහු මැ උතුම් වෙත්. ඔවුන් හැම දෙනාට වඩා තමා දමනය කරණ ලද්දේ උතුම් වෙයි.
4.(323) මහණ තෙම (පූර්වභාගයෙහි ඉන්ද්රිය දමනයෙන්) දැමුනු, (අපර භාගයෙහි අරීමඟ වැඩීමෙන්) මනා වැ දැමුනු සිතින් දාන්ත වූයේ, සිහිනෙනුදු නොගිය විරූ (දාන්තභූමි වූ) නිවන දෙසට යම්සේ යේ ද, එසේ මේ (ඇත් අස් ආදි) යානවලින් යෑ හැකි නො වන්නේ ය.
5.(324) ධනපාලක නම් (මාතෘපෝෂක) ඇත් තෙම දෙකන් සිලින් වැහෙන තීව්ර වූ මද ඇත්තේ, කිසිවක්හු විසින් නොවැළැකිය හැකි වූයේ, (ඇත්හලට ගෙණවුත් විසිතුරු තිරයෙන්) පරික්ෂිප්ත කරණ ලදුයේ, (රජහු එළැවූ නොයෙක් රසවුලෙන් යුත්) රාජ භෝජනය පවා (මාතෘවියෝගයෙන් දුඃඛිත බැවින්) නො කන්නේ ය. ඒ ඇත් තෙම (මව වසන) නාගවනය ම සිහි කරන්නේ ය.
6.(325) පුරුෂ තෙම යම් කලෙක මිද්ධබහුල (ථීනමිද්ධයෙන් මඩනා ලදුයේ) වේ ද, ( පමණ නොදැන බොහෝ කොට කන්නේ වේ ද, (කුඩු දඹුකඩ නියුඩු කැඳ ආදි) සූකරභක්තයෙන් පුස්නා ලද (ස්ථූල ශරීර ඇති) මහ ගම්හූරකු මෙන් (හුන් සිටි තැන) නිදන්නේ ම පෙරැළි පෙරැළි හෝනේ වේ ද, තිලකුණු මෙනෙහි කැරුමක් නැති ඒ අඥාන තෙම නැවැත නැවැත මවු කුසට එළැඹෙන්නේ ය (ගර්භවාසයෙන් නො මිදෙන්නේ ය).
7.(326) මේ (අනවස්ථිත) සිත පෙර කැමැති අයුරින් කැමැති අරමුණෙහි සුව සේ බොහෝ කල් සැරි සරා ඇවිද්දේ ය. එය අද මම් නුවණින් ගිලි හුනු මද ඇති ඇතකු නිගන්නා අකුසක් ගත් ඇතරුවක්හු සෙසින්, නිගන්නෙමි (වළකන්නෙමි).
8.(327) නොපමාබව්හි ඇලුනෝ වවු. සිය සිත (නානා අරමුණෙන් වළකා) රකිවු. ගැඹුරු මඩෙහි ගැලුනු ඇතු (වෑයම් කොට එයින් නැගී ගොඩැ පිහිටියා) මෙන් තෙපි (යෝනිසෝමනස්කාරයෙන් යුක්ත ව වීර්ය කොට) තමන් කෙලෙස් දුදුලෙන් ගොඩැ නඟවු.
9.(328) ප්‍රඥාව ඇති, තමා හා සමග වසන්නට නිසි, යහපත් වාස ඇති, ධෘතිසම්පන්න, කල්‍යාණ මිත්‍රයකු ඉදින් ලද්දේ වී නම්, සියලු උපද්‍රව තාක් මැඩ, ඔහු හා සතුටු සිතැති වැ සිහි නුවණින් යෙදී වසන්නේ ය.
10.(329) ප්‍රඥාව ඇති, තමා හා සමග වසන්නට නිසි, යහපත් වාස ඇති, ධෘතිසම්පන්න, කල්‍යාණමිත්‍රයකු ඉදින් නො ලද්දේ වී නම්, දිනන ලද (අතට පත්) රට හැර පියා එකලා වැ වනයට වැද තවුස් පැවිද්ද ගත් මහාජනක රජු මෙන් ද, (ඇත්මුළ හැර පියා) රක්ෂිත වනයෙහි (හුදෙකලාවැ වසන) මාතඞ්ග ඇතු මෙන් ද, ගණයා හැර එකලා වැ වසන්නේය.
11.(330) එකලාහුගේ වාසය උතුමි. (දෙලෝ වැඩ නොදක්නා) අනුවණයා කෙරෙහි (ශීල ධූතාංග විදර්ශනා මාර්ගඵල ත්‍රිවිද්‍යා අභිඥා නිර්වාණ යන මේ) සහාය බව නැත. (ඔහු නිසා එය ලැබිය නො හැක්ක.) එ හෙයින් ගණයා හැර එකලා වැ වසන්නේ ය. මඳ වූ ද පව් නො ම කරන්නේ ය. ගණයා හැර වෙනෙහි වසන මාතඞ්ග (පාරිලෙය්‍යක) ඇතු මෙන් (ගණ පරිහරණයෙහි) නිරුත්සාහ වැ වසන්නේ ය.
12.(331) කටයුත්තක් උපන් කල්හි (එය සපයන්නට සමත්) යහළුවෝ සුවයහ. හීන වූ ද ප්‍රණීත වූ ද, මඳ වූ ද බොහෝ වූ ද, (තමා සතු පසයෙකින් උපදනා) යම් සතුටෙක් ඇද්ද, එය සුව ය. මරණය ළං වූ කල්හි මහත් කොට කළ පින සුව ය. සියලු සසර දුක දුරැ ලීම (හෙවත් රහත්බව) සුව ය.