22. නිරය වර්‍ගය
1.(306) (පරහට දොස් නැගීම් වසයෙන්) බොරු කියන පුද්ගල තෙම නිරයට යන්නේ ය. තව ද යමෙක් පව් කොට ‘නො කෙළෙමි’යි කියා නම්, හේ ද නිරයට යන්නේ ය. පහත් ක්‍රියා ඇති ඒ මිනිස්සු දෙ දෙන ම මෙයින් මියැ ගොස් පරලොවැ දී (නරකොත්පත්ති හේතුයෙන්) ගති වශයෙන් සම වන්නාහ.
2.(307) කසාවතින් වෙළන ලද ග්‍රීවා ඇති (හෙවත් දසරුවෙහි ලූ කසා කඩ ඇති) ලාමක ස්වභාවය ඇති (මහණ පිළිවෙතැ නොයෙදුනු) කායවාක් සංයම රහිත පුද්ගලයෝ බොහෝ වූහ. ඒ පාප පුද්ගලයෝ (තමන්ගේ) පව් කම්වලින් (මරණින් මතු) නිරයට යන්නාහ.
3.(308) සිල් නැති, කාය වාක් සංයම නැති පුද්ගල තෙම (රටවැස්සන්) සැදැහැයෙන් දුන් අහර (‘මමත් මහණෙකිමි’ යි පිළින කොට) වළඳන්නේ ය යන යමක් ඇද්ද, එයට වඩා දිලියුණු ගිනිසුලක් බඳු වූ යවට වළඳන ලද්දේ උතුමි.
4.(309) පරඹුන් සෙව්නා සුලු, පමා වූ පුරුෂ තෙම පළමු වන අකුසල ප්‍රතිලාභය ද, දෙවෙනි වූ නිකාමශ්‍යාව (කැමැති සේ වැදෑ හීම) නො ලැබීම ද, (හෙවත් මඳ නිදි ඇති බව ද), තෙවෙනි වූ මෙ ලොව ලබන නින්‍දාව ද, සතර වනු නිරයෙහි ඉපැද්ම ද යන දුක් කරුණු සතරට පැමිණෙයි.
5.(310) ඔහුට අකුශලප්‍රතිලාභය ද, එයින් වන (නරකෝප්පත්තිසංඛ්‍යාත) ලාමක විපාක ගතිය ද වේ. බියපත්හුගේ බියපත් ස්ත්‍රිය හා සංසර්‍ගයෙන් උපදනා කාමරතිය ද ස්වල්ප වේ. රජ ද ගරු වූ දඬුවම් පණවයි. එහෙයින් පුරුෂ තෙම පරඹුවන් නො සෙව්නේ ය.
6.(311) කිසි කර තණයෙක් වරදවා ගන්නා ලද්දේ (නො පිටට අදනා ලද්දේ) එය ගත් අත ම යම් සේ සිඳී ද, එ පරිද්දෙන් ම මහණදම ද (ඛණ්ඩශීලතාදි වශයෙන්) වරදවා ගන්නා ලද්දේ, නරකයට ඔහු ඇද හෙළයි (නිරයෙහි උපදවයි).
7.(312) (පසු බැස බැස) ලිහිල් කොට කරන ලද යම් කුශල කර්‍මයෙක් ඇද්ද, (අගෝචරයෙහි හැසිරීමෙන්) සකිලිටි වූ යම් ව්‍රතයෙක් (ශීලයෙක්) වේ ද, (ලාභාපේක්‍ෂායෙන් කළ) සකිලිටි වූ යම් (ධුතාංග) ව්‍රතයෙක් ඇද්ද, (රැස් වන සඞ්ඝයා දැක මට දඬුවම් කරන්නට රැස් වූහ යි) සැකයෙන් යුතු ව හැසිරීමට කරුණ වූ (හෝ අනුන් විසින් සැක කටයුතු වූ පැවතුම් ඇති) යම් බඹසරෙක් ඇද්ද, ඒ සියල්ල (ප්‍රතිසන්‍ධිප්‍රවෘත්ති විපාක වශයෙන්) මහත්ඵල ඇත්තේ නො වේ.
8.(313) (එහෙයින්) ඉදින් කුශලයක් කරන්නේ නම් එය කරන්නේ ම ය. ඒ කුශලකර්‍මය ද තර කොට ම (අවස්ථිත සමාදාන ඇතිව ම) කරන්නේ ය. යම් හෙයකින් ඛණ්ඩාදිභාවයට පමුණුවන ලද ශ්‍රමණධර්‍මය වඩා ලා ම (බොහෝ කොට ම) රාගාදි රජස ඔහු සතන්හි වත් කරන්නේ ද, එහෙයිනි.
9.(314) දුෂ්කෘතය (අකුශලය) නො කරණ ලද්දේ ම උතුමි. අකුශල කර්‍මය තෙම පසු ව සිහි කළ විටක් පාසා මෙ ලොවැ විපිළිසර තැවිල්ලෙන් ද පර ලො වැ අපායතාපයෙන් ද තවන්නේ ය. එ හෙයින් යමක් කොට පසු වැ නො තැවේ ද, එසේ වූ කුශල කර්‍මය තෙම කරණ ලද්දේ උතුමි.