21. ප්රකීර්ණක වර්ගය
1.(290) ඉදින් ස්වල්පමාත්ර සුවයක් හැරීමෙන් මහත් වූ සුවය (යම් හෙයෙකින්) දක්නේ ද, එ හෙයින් මහත් වූ නිවන් සුව දක්නා (කැමැති වූ) නුවණැත්තේ ඒ මඳ වූ සුවය හරනේ ය.
2.(291) (අනුන් තළා පෙළා ගැති කොට ගෙණ) පරහට දුක් දීමෙන් යමෙක් තමාට සුව කැමැති වේ නම්, හෙ තෙම (බිණුවාහුට පෙරළා බිණීම ය, ගැසුවහුට පෙරළා ගැසීමය යන ආදීන් උනුනට කරණ ලද) වෛර සංසර්ගයෙන් මිශ්ර වූයේ වෛරයෙන් නො මිදෙන්නේ ය. (වෛර වශයෙන් සතතයෙන් දුකට පැමිණෙන්නේ යී සේ යි).
3.(292) යමක් මහණුන් විසින් කටයුතු නම් එය (ඒ පාමොක් සිල් රැකුම් ධුතාංග පිරීම් ආදිය) හැරැ පියන ලද්දේ ද, මහණුන් විසින් නො කටයුතු (සිරුර සැරැසීම් ආදි) අකාර්ය්යය වනාහි කරණු ලැබේ ද, (හුවන ලද මාන නල ඇති, ස්මෘතිවිප්රවාසයෙන්) ප්රමාදී වූ ඒ පුඟුලන්ගේ කාමාදි ආස්රවයෝ වැඩෙන්නාහ.
4.(293) යම් කෙනකුන් විසින් කාගියාසී භාවනාව සතතයෙන් මොනොවට වඩන ලද ද, මහණුන් විසින් කටයුතු (සිල් පිරුම් දුහඟ වැඩුම් භාවනායෙහි ඇලීම් යන) කාර්ය්යයෙහි සතතකාරී වූ ඔහු (ශරීරමණ්ඩන පරිෂ්කාර මණ්ඩනාදි) අකාර්ය්යය නො සෙව්නාහ. සිහි ඇති, (චතුසම්පජඤ්ඤ වසයෙන්) සම්පජානකාරී වූ ඒ පුඟුලන්ගේ ආස්රවයෝ පරික්ෂයයට (විනාශයට) යන්නාහ.
5.(294) (තෘෂ්ණා නැමැති) මව ද, (අස්මිමාන නැමැති) පියා ද, (ශාශ්වතදෘෂ්ටි උච්ඡේදදෘෂ්ටි නැමැති) ක්ෂත්රිය රජුන් දෙදෙනා ද (රහත්මඟ නැණ නැමැති) කගින් වනසා, (නන්දිරාග නැමැති) අයකැමියා සහිත (ද්වාදශායතන නැමැති) රට ද වනසා, බාහිතපාප බ්රාහ්මණ තෙම (රහත් තෙම) නිදුක් වැ (නිවන් පුර) යන්නේ ය.
6.(295) (තෘෂ්ණා නැමැති) මව ද (අස්මිමාන නැමැති) පියා ද, (ශාශ්වතෝච්ඡේදදෘෂ්ටි නැමැති) බමුණු රජුන් දෙදෙනා ද (රහත්මඟ නුවණ නැමැති කගින්) නසා, (විචිකිච්ඡා නැමැති) ව්යාඝ්රසංචාර මාර්ගය පස්වනු කොටැති නීවරණ ද නසා, (ක්ෂීණාස්රව) බ්රාහ්මණ තෙමේ නිදුක් වූයේ නිවන්පුර යෙයි.
7.(296) යම් කෙනකුන්හට දහවලුත් රෑත් නිතර බුදුගුණ ඇරැබැ උපදනා සිහිය ඇත්තේ ද, ඒ ගෞතම ශ්රාවකයෝ හැම කල්හි සුප්රබුද්ධ ව පුබුදින්නාහ. (බුදුගුණ සලකා ගෙණ යෙහෙන් නිදා යෙහෙන් පුබුදින්නාහ).
8.(297) යම් කෙනකුන්හට දහවලුත් රෑත් නිතර (සපර්ය්යාප්තික නව ලෝකෝත්තර) ධර්මය අරබයා උපදනා සිහිය ඇද්ද, ඒ ගොයුම්සව්වෝ හැම කල්හි සුප්රබුද්ධ ව පුබුදින්නාහ.
9.(298) යම් කෙනකුන්හට දහවලුත් රෑත් සඟගුණ ඇරබැ උපන් සිහිය ඇද්ද, ඒ ගොයුම්සව්වෝ හැම කල්හි සුප්රබුද්ධ ව පුබුදින්නාහ.
10.(299) යම් කෙනකුන්හට දහවලුත් රෑත් නිතර (ද්වත්තිංසාකාර වශයෙන් හෝ නවසීවථිකා වශයෙන් හෝ චතුධාතුවවත්ථාන වශයෙන් හෝ අජ්ඣත්තික නීලකසිණාදී වශයෙන් හෝ) කය ඇරැබැ උපදනා සිහිය ඇද්ද, ඒ ගොයුම් සව්වෝ හැම කල්හි සුප්රබුද්ධ ව පුබුදින්නාහ.
11.(300) යම් කෙනකුන්ගේ සිත දහවලුත් රෑත් අහිංසාභාවනායෙහි (කරුණා භාවනායෙහි) ඇලුනේ ද ඒ ගොයුම්සව්වෝ හැම කල්හි මනා පිබිදීමෙන් පුබුදිත්.