20. මාර්ග වර්ගය
1.(273) මාර්ග අතුරෙන් අෂ්ටාඞ්ගිකමාර්ගය (අෂ්ටමිත්යාත්වයන් දුරැ ලන බැවිනුත් සිවුසස්හි දුක් පිරිසිඳීම් ආදිය කරණ බැවිනුත්) උතුම් ය. (වාක්සත්යය සම්මතිසත්යය දෘෂ්ටිසත්යය පරමාර්ත්ථසත්යය යන මේ) සත්ය අතුරෙන් දුක්ඛසත්යාදි සත්යපද සතර (සත්යාර්ත්ථයෙන්) උතුම්හ. (ප්රත්යයයෙන් උපන් නොඋපන්) සියලු ධර්ම අතුරෙන් විරාගධර්මය (හෙවත් නිවන) උතුමි. දෙ පා ඇති සියලු සතුන් අතුරෙහි පසැස් ඇත්තේ (බුදුරජ තෙම) උතුමි.
2.(274) (මාර්ගඵල) දර්ශනයාගේ විශුද්ධිය පිණිස මෙය ම මඟ ය. අන් මඟෙක් නැත. තෙපි මෙ මඟෙහි පිළිපදිවු. මේ අරී අටැඟි මඟ මරහු මුළා කරන්නේ ය. (කෙලෙස් මරසෙන් සහිත දෙව්පුත් මරහු වංචිත කරන්නේ ය.)
3.(275) මේ අරී අටැඟි මගෙහි පිළිපන් තෙපි සියලු සසර දුක කෙළවර කරවු. රාගාදි ශල්යයන් මඬනා (නොහොත් රාගාදි උල් උදුරා ලන) (අනුශ්රව අනුමාන නැති වැ) ප්රත්යක්ෂයෙන් ම දැන නිවනට පමුණුවන මේ මාර්ගය ඒකාන්තයෙන් මා විසින් කියන ලදී.
4.(276) මහණෙනි, දැන් තොප විසින් (කෙලෙස් තවන හෙයින් ආතප්ප නම් වූ) සම්යක්ප්රධානවීර්ය්යය කට යුතු යි. සර්වඥවරයෝ හුදෙක් නිවන් මඟ කියන්නාහු ම වෙති. (අත අල්ලා ගෙන නිවන් පමුණුවන්නෝ නො වෙති.) ධ්යායී වූ (හෙවත් ශමථ විදර්ශනා භාවනාවෙහි යෙදුනු) යෝගාවචරයෝ මාරබන්ධනයෙන් (ත්රෛභූමකවෘත්තයෙන්) මිදෙන්නාහු ය.
5.(277) සියලු සංස්කාරයෝ අනිත්යයහ යි යම් කලෙක විවසුන් නුවණින් දක්නේ ද එ කල්හි මේ (ස්කන්ධපරිහරණය යැයි කියන ලද) දුකෙහි (මුදුන් පත් වුට්ඨානගාමිනීවිපස්සනා වශයෙන්) කළකිරෙන්නේ ය. (එසේ කලකිරුණේ දුඃඛපරිඥානාදි විසින් සත්යප්රතිවේධය කරන්නේ ය. එ හෙයින්) මේ සංස්කාරයන් කෙරෙහි නිර්වේදය, නිර්මල වීමට (නොහොත් නිවනට) මඟ ය.
6.(278) සියලු සංස්කාරයෝ (උදයව්යයයෙන් පෙළෙන හෙයින්) දුක්හ යි යම් කලෙක විවසුන් නුවණින් දකී ද, එකලැ මේ ස්කන්ධ පරිහරණයෙහි (දුකෙහි) කළකිරෙන්නේ ය. (එසේ කලකිරුණේ සත්යයන් පිළිවිදුනේ ය.) මේ සංස්කාරයන් කෙරෙහි කළකිරීම, නිර්මල බවට (නොහොත් නිවනට) මඟය (කාරණ ය).
7.(279) සියලු පස් කඳහු (තමා වසයෙහි නොපවත්නා හෙයින්) අනාත්මහ යි යම් කලෙක විවසුන් නුවණින් දක්නේ ද, එ කල්හි මේ දුකෙහි (ස්කන්ධපරිහරණයෙහි) කළකිරෙන්නේ ය. (එසේ කළකිරුනේ සත්යප්රතිවේධය කරන්නේ ය.) එහෙයින් මේ සංස්කාරයන්හි කලකිරීම, නිර්මල බවට (නොහොත් නිවනට) මඟ ය.
8.(280) වීර්ය්ය කරන්නට සුදුසු කල්හි වීර්ය්ය නොකරණ මහණ තෙම ප්රථම යෞවනයෙහි සිටියේ ද, කායබලසම්පන්න වූයේ ද, ඉදින් ආලස්යයෙන් යුක්ත වූයේ නම් (බඩ පුරා බත් වළඳා පියා කිසි ද මහණදමක් නොකොට වැද හෝනේ ම වේ ද), (කාමවිතර්කාදී තුන් විතර්කයන් විසින්) මොනොවට යට ගලන ලද සම්යක්සංකල්ප චිත්ත ඇති, කුසීත වූ ඒ මහ මැලියා ප්රඥායෙන් දැක්ක යුතු ආර්ය්යමාර්ගය නො ලබන්නේ ය. (නැතහොත් ලොවී ලොවුතුරු ප්රඥාවට උපායක් නොලබන්නේ ය.)
9.(281) යමෙක් (චතුර්විධ වාග්දුශ්චරිත දුරැ ලීමෙන්) වචස රක්නා සුලු වේ ද, ත්රිවිධ මනෝදුශ්චරිත දුරැ ලීමෙන් මනසින් මොනවට හැවුරුනේ වේ ද, කයිනුත් (ත්රිවිධ කායදුශ්චරිත සංඛ්යාත) අකුසල් නො කරන්නේ ද, (කායදුශ්චරිතාදි) මේ තුන් කර්මපථ පිරිසිදු කරන්නේ ද; ඒ (පුද්ගල තෙම බුද්ධාදි) ඍෂින් විසින් පිළිවිදුනා ලද ආර්ය්යමාර්ගය සිද්ධ කරන්නේය (ආර්ය්යමාර්ගයට පැමිණෙන්නේ ය.)
10.(282) (පඨවිකසිණාදී අටතිස් අරමුණෙහි යෝනිසෝමනසිකාරයෙහි) යෙදීමෙන් ලොවුතුරා නුවණ ඒකාන්තයෙන් උපදී. ඒ භාවනාමනසිකාරයෙහි නොයෙදීමෙන් (ලොවීලොවුතුරා) ප්රඥාවගේ විනාශය වේ. වැඩ පිණිස ද අවැඩ පිණිස ද පවත්නා වූ යෝගය ද අයෝගය ද යන මේ දෙමඟ දැන, යම් සේ ප්රඥාව වැඩේ නම්; එ සේ තමා (යෝනිසෝමනසිකාරයෙහි) පිහිටුවන්නේ ය.