18. මල වර්ගය
1.(235) දැන් (සිඳි බිමැ හුනු) පඬු පැහැ පරණලා පතක් මෙන් විහි. යමදූතයෝ ද තට එළැඹ සිටියහ. (හෙවත් මරණය තට එළැඹ සිටියේ ය). පරිහානිමුඛයෙහි ද සිටියෙහි ය. පරලොව යන තට කුසල් නැමැති මාර්ගෝපකරණයෙකුදු නැත්තේ ය.
2.(236) ඒ තෝ තමහට (නැව බුන් කල්හි පිහිට වන) දිවයිනක් (මෙන් කුසල් නමැති පිහිටක්) කරව. (කරන්නෙහි දු) වහා වෑයම් කරව. (එහි ලා) නුවණැති වව. (සන්තානයෙන්) පහ කළ රාගාදි මල ඇත්තෙහි, එහෙයින් ම රාගාදී අඞ්ගණ නැත්තෙක් වූයෙහි, දිව්යානුභාව ඇති (නොහොත් ශෝභාවත්) ආර්ය්යභූමියට (හෙවත් ශුද්ධාවාසයට) පැමිණෙන්නෙහි ය.
3.(237) දැන් තෝ ගියා වූ වයස් ඇත්තෙහි ද වෙහි. (තුන් වයස් ම ඉක් මැ) මරුමුවෙහි සිටියෙහි. යමයා සමීපයට (මරුමුවට) යන්නට සැරැසී සිටියෙහි. තට අතුරෙහි වාසයකුදු නැත. පරලොව යන තට අතරමඟ ලැග්මෙකුදු නැත. තට මාර්ගෝපකරණයෙකුදු නැත.
4.(238) හේ තෝ තමහට පිහිටක් කරව. වහා වීර්ය්ය කරව. කුසල් කිරීමෙහි නුවණැති වව. දුර ලූ රාගාදි මල අත්තෙහි, එ හෙයින් ම (රාගාදි) අඞ්ගණ නැත්තෙහි, නැවත ජන්මජරාව්යාධිමරණයනට නො පැමිණෙන්නෙහි ය.
5.(239) (ධර්මොජස්ප්රඥායෙන් සමන්විත) ප්රාඥ තෙම ක්ෂණක්ෂණයෙහි (ලද ලද අවකාශයෙහි) මඳ මඳ කොට කරන්නේ, ස්වර්ණයේ ආගන්තුක වූ කෘත්රිම දෝෂ දවන රන්කරුවෙකු මෙන්, තමාගේ කෙලෙස්මල දුරු කරන්නේ ය.
6.(240) යකඩින් ම නැංගාවූ මලය එයින් ම නැඟ එය ම යම් සේ කා ද, එසේ ම සිවුපසය පස් විකා පරිභෝග කරණ ප්රඥායෙන් ඉක්මුනුහු (හෙවත් පසය නොපස්විකා වළඳන මහණා) ස්වකීය ඒ පාපකර්මයෝ දුගතියට පමුණුවන්නාහ.
7.(241) හදාළ ශාස්ත්රයෝ නොපිරුවීම මල කොටැතියහ. ගෘහයෝ වීර්ය්ය නොකිරීම මල කොට ඇත්තාහ. ශරීරවර්ණයට කුසීත බව මලයෙක. (කෙත්වත් ඈ) රක්නාහට ප්රමාදය මලයෙක (කිලිටෙක).
8.(242) ස්ත්රියට දුශ්චරිතය (ධූර්තවීම) මලයෙක (කිලිටෙක). දන් දෙන්නාහට මසුරුබව මලයෙක (කිලිටෙක). අකුශල ධර්මයෝ මේ ලොව ද පර ලොව ද ඒකාන්තයෙන් මලයෝ ය (කිලුටු ය)
9.(243) මහණෙනි, ඒ සියලු මලයට වඩා අධිකතර මලයක් තොපට දක්වමි. (දුඃඛාදි අට තැන පැවැති නො දැන්මැ යි කියන ලද) අවිද්යාව මහත් ම මලය ය (කිලුට ය). මේ අවිද්යා නැමැති මලය (රහත් මග නුවණින්) පහකොට නිර්මල වවු.
10.(244) පවෙහි හිරි ඔතප් නැති, ගසා කෑමෙහි සුරු කවුඩකු වැනි වූ, මෙරමා ගුණ මකන, ගෙන් ගෙට දිවෙන සුලු, බුහුටි වූ, කිලිටි ආජීව ඇති මහණහු විසින් ජීවත් වීම සුවසේ කට හැක්කේ ය.
11.(245) පාපයෙහි හිරි ඔතප් ඇති, පිරිසිදු කායකාර්මාදිය සතතයෙන් සොයන සුලු වූ, ප්රගල්භ රහිත (බුහුටි නොවූ), (අනෙස්නෙන් දුරු වූ බැවින්) පිරිසිදු ආජීව ඇති, එය ම සරු කොට දක්නා මහණහු විසින් ජීවත් වීම දුකසේ කටයුතු ය (රූක්ෂ ජීවිකායෙන් ජීවත් විය යුතු ය.)
12.(246) යමෙක් පණ නසා ද, බොරු කියා ද. (මේ) සත්ලොවෙහි නොදුන් දෑ පැහැරැ ගනී ද, පරඹුවන් කරා යේ ද,
13.(247) යම් මිනිසෙක් රහමෙර පීමෙහිත් යෙදේ ද, මෙබඳු පුඟුල් තෙම මෙ ලොව්හි දී ම තමාගේ ප්රතිෂ්ඨාමූලය කණන්නේ ය.
14.(248) භවත් පුරුෂය, (අකුශල) ධර්මයෝ සංයම නැත්තෝ යැ යි මෙසේ දනුව. ලෝභය ද ද්වේෂය ද යන අකුශලමූලයෝ දෙදෙන තා බොහෝ කලක් නරකාදි දුකට නො පමුණුවත්වා.
15.(249) ජන තෙමේ ශ්රද්ධාවට අනුරූප පරිද්දෙන්, තමාගේ ප්රසාදයට අනුරූප පරිද්දෙන්, අනුනට දෙන්නේ ය. ඒ පානභෝජයනයෙහි යම් මහණෙක්, (රූක්ෂ දැ ලදැ යි) දොම්නස් ඇත්තේ වේ ද, හෙ තෙම ඒකාන්තයෙන් දාවලෙක වත් රාත්රියෙක වත් සමාධියකට නො පැමිණෙන්නේ ය.
16.(250) යම් මහණකු විසින් වනාහි මේ මකු බව මුලින් සිඳුනා ලද ද, (අවිද්යා තෘෂ්ණා නැමැති) ක්ලේශමූලය මොනවට නසන ලද ද, හෙ තෙම ඒකාන්තයෙන් දාවල් හෝ රෑ හෝ සමාධියට පැමිණෙන්නේ ය.
17.(251) රාගය හා සම ගින්නෙක් නැත. ද්වේෂය හා සම ඩැහැගැන්මෙක් නැත. මෝහය හා සම දැලෙක් නැත. තෘෂ්ණාව හා සම නදියෙක් නැත.
18.(252) අනුන්ගේ අණුමාත්ර වූ වරද සුව සේ දැක්ක හැක්ක. තමාගේ වූ කලි මහත් වූ වරද ද දැක්ක නොහෙන්නේ ය. ඒ අනුන්ගේ වරද සොයන පුද්ගල තෙම මඳ වූ ද අනුන්ගේ දෝෂයන් උස් තැනෙක සිට රොඩු බොල් පොළන එකක්හු මෙන් පොළන්නේ ය (නගා පාන්නේ ය). තමාගේ වූ කලි මහත් වරද පවා වසන්නේ ය. (පැටි කරන්නේ ය, වළහන්නේ ය). කොළ පැලැලි ආදියෙන් සිරුර මුවහ කරණ වංචක ලිහිණිවැද්දා මෙනි.
19.(253) අනුන්ගේ වරද දක්නා සුලු වූ, සතතයෙන් අනුන් උදහන සුලු වූ (අනුන්හට දොස් කියන සුලු වූ) ඒ මහණහට ආස්රවයෝ වඩනාහ. හෙ තෙම රහත් බැවින් දුරු යි.