17. ක්‍රෝධ වර්‍ගය.
1.(221) ක්‍රෝධය දුරු කරන්නේ ය. මානය පහ කරන්නේ ය. (කාමරාගාදි) සියලු සංයෝජන ඉක්මෙන්නේ ය. නාමරූප දෙක්හි (මගේ රූපය මගේ වේදනාව යන ආදීන්) ඇලුම් නොකරන්නාවූ, (කෙලෙසුන් නැති හෙයින්) අකිංචන වූ ඒ පුද්ගලයා (කායික චෛතසික දුඃඛයෝ) අනුව නො පවත්නාහු ය.
2.(222) යමෙක් උපන් ක්‍රෝධය භ්‍රාන්ත රථයක් (හෙවත් වේගයෙන් දුවන රියක් වළක වළකා තමා කැමති තැනට මෙහෙයන්නාක්) මෙන් නිගන්නේ ද (වළකා ලන්නේ ද), ඒ පුගුලා රියැදුරැ යි මම් කියමි. රාජාදීන්ගේ අන් රියැදුරු ජන තෙමේ රස්මිග්‍රාහක (රැහැන ගන්නා) නම් වෙයි. (උතුම් රියැදුරු නම් නො වෙයි.)
3.(223) ක්‍රෝධි පුද්ගලයා ක්‍රෝධ නො කිරීමෙන් දිනන්නේ ය. අසාධු පුද්ගලයා සාධු ගුණයෙන් දිනන්නේ ය. තද මසුරා තමා සතු දෑ දීමෙන් දිනන්නේ ය. බොරු කියන්නහු සැබෑ කීමෙන් දිනන්නේ ය.
4.(224) සත්‍යය ම කියන්නේ ය. නො ම කිපෙන්නේ ය. ඉල්ලන ලදුයේ, දෙන දෑ ස්වල්ප වැ ඇති කල්හි නමුදු, එයින් මඳ දැයක් නමුදු දෙන්නේ ය. මේ කරුණු තුනින් දෙවියන් වෙතට යන්නේ ය.
5.(225) යම් මුනි කෙනෙක් අනුනට හිංසාවක් නො කෙරෙද්ද, සතතයෙන් කයින් සංවෘත වූවෝ ද, ඒ අශෛක්‍ෂි මුනිහු, සත්ත්‍වයෝ යම් තැනකට ගොස් ශෝක නො කෙරෙද්ද, මරණයක් නැති ඒ අමා මහ නිවන් නැමැති තැනට (අරමුණු කිරීම් වශයෙන්) පැමිණෙන්නාහ.
6.(226) හැම කල්හි පිබිදැ සිටින (කෙලෙස් නින්දෙන් නො නිදන), දව රෑ දෙක්හි තුන් සිකෙහි හික්මෙන, කෙලෙස් පිරිනිවනෙහි ඇලුනු යෝගවචරයන්ගේ ආශ්‍රවයෝ විනාශයට යන්නාහ.
7.(227) අතුල ය, මේ ගැරැහුම් පැසැසුම් දෙක පුරාතන ය. මෙය අද පමණක් වූ දැයෙක් නො වේ. මුවෙන් නො බැණ උන්නවුනට ද නින්‍දා කෙරෙත්. බොහෝ කොට බණන සුල්ලන්ට ද නින්‍දා කෙරෙත්. මඳ කොට බණන සුල්ලහුට ද නින්‍දා කෙරෙති. (එහෙයින්) ලොවැ සර්‍වප්‍රකාරයෙන් අනින්‍දිත සත්ත්‍වයෙක් නම් නැති.
8.(228) ඒකාන්තයෙන් ගැරහුම් ලත් පුරුෂයෙක් හෝ ඒකාන්තයෙන් පසස්නා ලද පුරුෂයෙක් හෝ අතීතයෙහි ද නො වී ය. අනාගතයෙහි ද නො වන්නේ ය. දැන් වර්‍තමාන කාලයෙහි ද නැත්තේ ය.
9.(229) ඉදින් නුවණැත්තෝ දවස දවස විමසා, නින්‍දාවට ද ප්‍රශංසාවට ද කාරණය දැන, යමකුට ප්‍රශංසා කෙරෙත් ද, අච්ඡිද්‍ර වූ ශික්‍ෂායෙහි පවත්නා (නොහොත් අච්ඡිද්‍ර ජීවිතවෘත්ති ඇති) ධර්මොජසප්‍රඥාව ඇති (විවසුන් නුවණ ඇති), ලොවිලොවුතුරා නුවණිනුත් සිවු පිරිසිදු ශීලයෙනුත් සමන්‍විත වූ,
10.(230) ඒ මහණහට ජාම්බොනද කනකපුංජයකට මෙන් නින්‍දා කරන්නට කවරෙක් සුදුසු ද? ඒ මහණහට දෙවියෝද (නුවණැති මිනිස්සු ද) ප්‍රශංසා කෙරෙති. මහබඹුහු විසිනුදු හේ පසසන ලදුයේ ම වේ.
11.(231) (ත්‍රිවිධ) කායදුශ්චරිතය රක්නේ ය (හෙවත් කායදුශ්චරිතයෙන් දුරු වන්නේ ය). කායද්වාරයෙන් සංවෘත වන්නේ ය. කායදුශ්චරිතය හැර කයින් සුසිරිත් පුරන්නේ ය.
12.(232) (චතුර්විධ) වාග්දුශ්චරිතය රක්නේ ය (හෙවත් වාග්දුශ්චරිතයෙන් දුරු වන්නේ ය). වාග්ද්වාරයෙන් සංවෘත වන්නේ ය. වාග්දුශ්චරිතය හැර වාග්ද්වාරයෙන් සුචරිතය පුරන්නේ ය.
13.(233) (ත්‍රිවිධ) මනෝදුශ්චරිතය රක්නේ ය (හෙවත් මනෝදුශ්චරිතයෙන් දුරු වන්නේ ය). මනෝවාරයෙන් සංවෘත වන්නේ ය. මනෝදුශ්චරිතය දුරු කොට මනඃසුචරිතය පුරන්නේ ය.