16. ප්‍රිය වර්ගය
1.(209) තමා නොයෙදියයුතු තැන (අගෝචරසේවනයෙහි, අයෝනිසෝමනසිකාරයෙහි) යොදාන්නාවූ ද, යෙදියයුතු තැන (සතිපට්ඨානගෝචරයෙහි) නො යොදාන්නාවූ ද පුද්ගල තෙම අර්ත්ථය (ත්රිශික්ෂාව) දුරැලා ප්‍රිය දැයම (පස්කම්) ගන්නා සුලු වූයේ අත් වැඩෙහි යෙදුනහු පතයි. (මමත් මෙබඳු වීම් නම් යෙහෙකැයි මෙසේ ඔවුන් කැමති වන්නේ ය.)
2.(210) ප්‍රියයන් සමග ද අප්රියන් සමග ද කිසි කලෙකත් (තෘෂ්ණාසංස්තව වශයෙන්) එක් නො වව. ප්‍රියයන්ගේ නොදැක්ම දුකෙකි. අප්‍රියයන්ගේ දර්ශනය ද දුකෙකි (එ හෙයිනි).
3.(211) එ හෙයින් කිසිවෙක් (කිසි සත්වයෙකු හෝ කිසි සංස්කාරයක්) ප්‍රිය නො කරන්නේ ය. ඒ එසේ මැ යි. ප්‍රියයන්ගේ වියෝගය ලාමක ය. යම් කෙනකුන්හට ප්‍රියාප්‍රිය වස්තුවෙක් නැද්ද, ඔවුන්හට (අභිධ්‍යාදි චතුර්විධ) කායග්‍රන්‍ථයෝ නැත්තාහ (ඔවුන්ගේ සන්තානයෙහි නො පවත්නාහු ය)
4.(212) ප්‍රිය වූවන් නිසා ශෝකය උපදී. ප්‍රිය වූවන් නිසා භය උපදී. ප්‍රිය වූවන් ගෙන් මිදුනු සිතැත්තහුට කිසි ශෝකයෙක් නැත. බියෙක් කොයින් ද?
5.(213) ප්‍රේමය නිසා ශෝකය උපදී. ප්‍රේමය නිසා භය හටගනී. ප්‍රේමයෙන් මිදුනු සිතැත්තහුට කිසි ශෝකයෙක් නැත. බියෙක් කොයින් ද?
6.(214) (පංචකාමගුණ) රතිය නිසා ශෝකය උපදී. රතිය නිසා භය හටගනී. රතියෙන් මිදුනු සිතැත්තහුට කිසි ශෝකයෙක් නැත. බියෙක් කොයින් ද?
7.(215) (වස්තුකාම ක්ලේශකාමයැ යි ද්විවිධ වූ) කාමයන් නිසා ශෝකය උපදී. කාමයන් නිසා භය හටගනී. කාමයන්ගෙන් මිදුනු සිතැත්තහුට කිසි ශෝකයෙක් නැත. බියෙක් කොයින් ද?
8.(216) තෘෂ්ණාව නිසා ම ශෝකය උපදනේ ය. තෘෂ්ණාව නිසා ම භය උපදනේ ය. තෘෂ්ණායෙන් මිදුනහුට ශෝකයෙක් නැත. බියෙක් කොයින් ද?
9.(217) සිවු පිරිසිදු ශීලයෙන් ද මාර්ගඵල සම්ප්‍රයුක්ත සම්‍යග්දෘෂ්ටියෙන් ද යුක්ත වූ ලොවුතුරා දහම් හි පිහිටි සිවුසස් දත්තාවූ, (තුන් සික පිරීම වූ) තමාගේ කාර්ය්යය කරණ ඒ රහත්හු ලොවී මහජන තෙම ප්‍රිය කරන්නේ ය.
10.(218) යම් මහණෙක් (පැහැ සටහන් වශයෙන් මෙබඳු යැ යි) නො කියන ලද නිවන කෙරෙහි (නිවන් පසක් කිරීමෙහි) (කත්තුකම්‍යතා වශයෙන්) හටගත් ඡන්දය ඇත්තේ ද, යට තුන් මග තුන් පල සිතින් පිරුණේ වේ ද, පස්කම්හි නො ඇලුනු සිතැත්තේ වේ ද මෙසේ වූ මහණ තෙම උඩු බලා පැවති ප්රතිසන්ධි ස්‍රෝතස් ඇත්තේ යැ යි (උද්ධංසෝත යැ යි) කියනු ලැබේ.
11.(219) බොහෝ කලක් පිට රට ගොස් වුසූ, දුරු රටැ සිට සුවසේ ආ පුරුෂයක්හු දැක නෑයෝ ද මිතුරෝ ද යහළුවෝ ද ඔහුගේ පැමිණීම සාදර ව පිළිගනිත්.
12.(220) එ පරිද්දෙන් ම කළ පින් ඇති මෙ ලොවින් පරලොවට ගිය පුරුෂයා ද, ඔහු කළ කුසල්හු දුර සිට ආ ප්‍රියයකු පිළිගන්නා නෑයන් සේ පිළිගන්නාහු ය.
සොළොස්වන ප්රියවර්ගය යි.
17. ක්‍රෝධ වර්ගය.
1.(221) ක්‍රෝධය දුරු කරන්නේ ය. මානය පහ කරන්නේ ය. (කාමරාගාදි) සියලු සංයෝජන ඉක්මෙන්නේ ය. නාමරූප දෙක්හි (මගේ රූපය මගේ වේදනාව යන ආදීන්) ඇලුම් නොකරන්නාවූ, (කෙලෙසුන් නැති හෙයින්) අකිංචන වූ ඒ පුද්ගලයා (කායික චෛතසික දුඃඛයෝ) අනුව නො පවත්නාහු ය.
2.(222) යමෙක් උපන් ක්‍රෝධය භ්‍රාන්ත රථයක් (හෙවත් වේගයෙන් දුවන රියක් වළක වළකා තමා කැමති තැනට මෙහෙයන්නාක්) මෙන් නිගන්නේ ද (වළකා ලන්නේ ද), ඒ පුගුලා රියැදුරැ යි මම් කියමි. රාජාදීන්ගේ අන් රියැදුරු ජන තෙමේ රස්මිග්රාහක (රැහැන ගන්නා) නම් වෙයි. (උතුම් රියැදුරු නම් නො වෙයි.)