14. බුද්ධ වර්‍ගය
1.(179) යමක්හු විසින් දිනන ලද රාගාදි ක්ලේශජාතය (නැවත නොඋපදනා බැවින්) නපුරු කොට දිනන ලද්දේ නම් නො වේ ද (හෙවත් නො දිනුවා නම් නො වේ ද), ඒ බුදුහු විසින් (ඒ ඒ මගින් දිනන ලද) ඒ ක්ලේශජාතය ලොවෙහි එක ද ක්ලේශයෙක් ලුහුබැඳ නො යේ ද, (අනන්‍තාලම්බන වූ සර්‍වඥතාඥාන වශයෙන්) අපර්‍ය්‍යන්ත වූ ගෝචර ඇති (තුන් භවයෙහි පරිභ්‍රමණයට කාරණ වූ රාගපදාදීන් අතුරෙන්) එක ද පදයක් නැති ඒ සම්‍යක්සම්බුද්ධයා කවර පදයෙකින් (කවර කරුණෙකින්) ගෙණ යවු ද? (තොප වශයට පමුණුවවු ද?)
2.(180) (හිවන වළඳනා අරුතින් දැලක් බඳු වන බැවින්) ජාලිනී නම් වූ, (රූපාදි පංචාලම්බනයෙහි ආසක්ත විෂක්ත වන හෙයින්) විසත්තිකා නම් වූ තෘෂ්ණාවෙක් යමකු කිසි භවයකට පමුණුවන්නට නැත්තේ ද, (සර්‍වඥතාඥාන වශයෙන්) අනන්ත ආලම්බන ඇති භවයෙහි ගමනට කාරණ වූ රාගාදි කිසි ද පයක් නැති ඒ සම්‍යක්සම්බුද්ධයා කවර පදයෙකින් (වශයට) පමුණුවවු ද?
3.(181) යම් ප්‍රාඥ කෙනෙක් (ආලම්බනෝපනිධ්‍යාන ලක්‍ෂණොපනිධ්‍යාන වශයෙන් ද්වීප්‍රකාර) ධ්‍යානයෙහි (ආවජ්ජනාදි පංච වශිතාවන්ගේ වශයෙන්) යුක්තප්‍රයුක්තයෝ ද, නෙක්ඛම්ම සංඛ්‍යාත ක්ලේශව්‍යපශමයෙහි (නිවනෙහි) ඇලුනාහු ද, සිහි ඇති, ඒ සම්‍යක්සම්බුද්ධයනට දෙවියෝත් මිනිස්සුත් කැමැති වෙත්. (අපිත්) බුදු වූවෝ නම් යෙහෙකැ සි බුදු බව කැමැති වන්නාහු ප්‍රාර්‍ත්‍ථනා කෙරෙත්.
4.(182) මිනිසත්බව පිළිලැබීම නම් (මහත් වෑයමෙන් මහත් කුසලින් පිළිලැබියැ යුතු බැවින්) දුර්‍ලභය. සත්ත්‍වයන්ගේ ජීවිතය (හෙවත් ජීවිකාව) ද (නිරතුරු ගොවිතැන් වෙළෙඳාම් ඈ කොට දිවි පවත්වන බැවිනුත් මඳ කලක් පවත්නා බැවිනුත් කෘච්ඡ්‍ර ය (දුක් ය). දහම් ඇසීම ද (නොයෙක් කප් කෙළ සුවහස්හි දහම් දෙසන්නකු දුලබ හෙයින්) කෘච්ඡ්‍ර ය (දුර්‍ලභ ය) සම්‍යක්සම්බුද්ධවරයන් ගේ ඉපැත්ම ද (මහත් වෑයමින් අභිනීහහාරය සමෘද්ධ වන බැවිනුත් සමෘද්ධාභිනීහාර ඇති මහපුරිසක්හුගේ උපත ද නොයෙක් කප් කෙළ සුවහස්හි දු දුලබ බැවින්) කෘච්ඡ්‍ර ය (දුලබ ය).
5.(183) (ප්‍රාණවධාදි) සියලු අකුශලකර්‍ම නොකිරීම ද, (ගේ හැර පැවිදි වූ තැන් පටන් රහත් පලයට පැමිණෙන තැන් දක්වා සියලු ලොවි ලොවුතුරා කුසල් ඉපැදැවීම ද, උපදවන ලද කුසලයේ වැඩීම ද, (පංච නීවරණ කෙරෙන්) තමා සිත පිරිසිදු කිරීම ද, යන මේ සියල්ල සියලු බුදුවරයන් ගේ අනුශාසන යි (අවවාද යි).
6.(184) (පරාපකාර පරාපවාද ඉවැසීම යන මේ) අධිවාසනක්‍ෂාන්තිය (අකුශලධර්‍ම තවන හෙයින් මේ ශාසනයෙහි) උතුම් තපසෙක. සියලු බුදු පසේබුදු රහත්හු නිවන (ශාන්තතාප්‍රණීතතාදි සර්‍වාකාරයෙන්) උතුමැ යි කියත්. පරහට හිංසා කරණ සුලු වූයේ (හෙවත් මෙරමා දිවි නසන සුලු වූයේ) පැවිදි නම් නො වෙයි. (පාණීප්‍රහාරාදියෙන්) පරහට වෙහෙස දෙන්නේ ද මහණ නම් නො වන්නේ ය.
7.(185) (ජාත්‍යාදියෙන් පරහට ආක්‍රෝශාදි වශයෙන්) වචසින් උපවාදයක් නොකිරීම ද, (පාණිප්‍රහාරාදි වශයෙන් පරහට) කයින් උපඝාතයක් නොකිරීම ද, පාතිමොක්ඛයෙහි සංවරය ද, (පාමොක් සිල් රැක්ම ද), ආහාරයෙහි මාත්‍රඥතාව ද (හෙවත් අහර පිරියෙස්නෙහිත් පිළිගැන්මෙහිත් වැළැඳීමෙහිත් පරහට දීමෙහිත් පමණ දන්නා බව ද) (නොහොත් දැහැමින් සෙමෙන් උපන් සතර පසය පස්විකා වළඳන බව ද) (ජනවිවික්ත) ප්‍රාන්ත ශයනාසනයෙහි ඇල්ම ද (හෙවත් ගමට දුරු වූ ගැඹුරු වල්හි වූ සෙනස්නෙහි ඇල්ම ද), රූපාරූප අෂ්ටසමාපත්තියෙහි සතතයෙන් යෙදීම ද යන මේ සියල්ල සියලු බුදුවරයන් ගේ අනුශාසන යි (අවවාද යි).
8.(186) කහවණු වැස්සෙනුදු (අහස බලා අත පොළාපු කල්හි දොළොස් යොත්නක් තන්හි හිනක් පමණ වස්නා සත් රුවන් වැස්සෙනුදු) වස්තුකාම ක්ලේශකාමයෙහි තෘප්තියෙක් නො වේ. වස්තුකාමක්ලේශකාමයෝ (සිහිනෙන් පූ පැනක් මෙන්) අස්වාද රහිතයහ. බොහෝ දුක් ඇත්තාහ. නුවණැති මහණ තෙම (කාමයෝ ආස්වාද රහිතයහ. බොහෝ දුක් ඇත්තාහ යි) මෙසේ දැන,
9.(187) (මානුෂක කාමයන් තබා) දිව්‍ය වූ පංචකාමයෙහි ද ඒ නුවණැති මහණ තෙම ඇල්මකට නො පැමිණෙන්නේ ය. සම්‍යක්සම්බුද්ධශ්‍රාවක තෙම (තෘෂ්ණාවගේ ක්‍ෂයාන්තයෙහි උපන් හෙයින් තෘෂ්ණාක්‍ෂය නම් වූ) රහත්පලෙහි ද (තෘෂ්ණක්‍ෂයට නිමිති වූ හෙයින් තෘෂ්ණාක්‍ෂය නම් වූ) නිර්‍වාණයෙහි ද ඇලෙන්නේ ය. (එය පතමින් කැමැති වැ වසන්නේ ය)
10.(188) (රාජභයාදි) බියෙන් තැති ගත් බොහෝ මිනිස්සු (ඉසිගිලි වේපුල්ල ආදි) පර්‍වතයන් ද (සුභගවන මහාවන ගෝසිංගසාලවනාදි) වනයන් ද, (වේළුවන ජිවකම්බවනාදි) ආරාමයන් ද ඒකාන්තයෙන් සරණ යන්නාහ. (සරණ කොට සලකන්නාහ.)
11.(189) මෙ කී සියලු ශරණය නිරුපද්‍රව (නිර්‍භය) නො වෙයි. මෙ කී ශරණය (මේ නිසා එක ද සතක්හු ජාතිජරාමරණයෙන් නොමිදෙන බැවින්) උතුම් ද නො වෙයි. මෙ කී (පර්‍වතාදි) ශරණයට පැමිණ සියලු දුකින් (කිසි කලෙකත්) නො මිදෙන්නේ ය.