12.(190) යමෙක් සම්‍යක්සම්බුද්ධයන් ද සද්ධර්‍මය ද අෂ්ටාර්‍ය්‍යපුද්ගල සඞ්ඝයා ද සරණ ගියේ වේ නම් (සරණ යැ යි දත්තේ වේ නම්), සතර ආර්‍ය සත්‍යයන් මනා කොට විදර්‍ශනාඥාන ඇසින් දක්නේ වේ නම්,
13.(191) (ත්‍රෛභූමිකවෘත්තසංඛ්‍යාත) දුඃඛසත්‍යත් ඒ දුක උපදවන තෘෂණාසංඛ්‍යාත) සමුදයසත්‍යයත් ඒ දුඃඛයාගේ ඉක්මීමට කාරණ වු (නිර්‍වාණසංඛ්‍යාත) නිරෝධසත්‍යයත් (දුක්ඛනිරෝධයට පමුණුවන උතුම් වූ අෂ්ටාඞ්ගිකමාර්‍ග සංඛ්‍යාත) මාර්‍ගසත්‍යයත් මනා කොට නුවණැසින් දක්නේ වේ නම්,
14.(192) (රත්නත්‍රයය ශරණ යෑම ය, චතුරාර්‍ය්‍යසත්‍යයන් මොනොවට දැක්ම ය යන) මේ ශරණය ම නිර්‍භය ය. මේ ශරණය ම (සියලු දුකින් මිදීමට කරුණු වූ හෙයින්) උතුම් ය. මේ ශරණයට පැමිණ සත්ත්‍ව තෙම සියලු සසරදුකින් මිදෙන්නේ ය.
15.(193) පුරුෂාජානේය (හෙවත් උත්තම පුරුෂ) තෙම දුර්‍ලභ ය. හෙ තෙම හැම තැන්හි ම උපදෙන් නො වෙයි. ඒ ප්‍රාඥ තෙම යම් කුලයෙක උපදනේ ද, ඒ කුලය සුවයට පැමිණෙන්නේ ය. (සැපතින් වැඩෙන්නේ ය.)
16.(194) සම්‍යක්සම්බුද්ධවරයන්ගේ ඉපැද්ම සුවයට කාරණ ය. සද්ධර්‍මදේශනාව ද සුවයට කාරණ ය. ඝඞ්ඝයා ගේ සමග බව ද (එක් සිත් බව ද) සුවයට කාරණ ය. සමග වූ භික්‍ෂූන් ගේ තපස ද (බුඞවචනය උගන්නට ද ධූතාංග පරිහරණයට ද මහණදම් රක්නට ද පිළිවන් හෙයින්) සුවට කාරණ ය.
17.(195) (ආමිස ප්‍රතිපත්ති දෙකින්) පිදීමට සුදුසු වූ, (තෘෂ්ණා දෘෂ්ටි මාන යන තුන්) ප්‍රපංචයන් මොනොවට ඉක්මියා වූ, ඉක්ම ගිය ශෝක පරිද්‍රව ඇති (හෙවත් ශෝකපරිද්‍රව දුඃඛයෙන් එතෙර ට ගියා වූ) බුදු පසේබුදුන් ද නොහොත් බුදුසව්වන් ද වන්‍දනමානනාදියෙන් සිවු පසයෙනුත් යමෙක් පුදා ද,
18.(196) රාගාදි කෙලෙස්ගිනි නිවීමෙන් නිවුනු සිත් ඇති, කිසි බියෙකින් වත් අරමුණෙකින් වත් උවදුරක් නැත්තා වූ, එ බඳු (හෙවත් මෙකී ගුණෙන් යුත්) ඒ බුදු පසේබුදු සව්වන් (දිවමන් කල්හි ද පිරිනිවි කල්හි ද) පුදන්නහුගේ පින්කම් මේ මෙතෙකැ යි ගණින්නට කිසි පුද්ගලයකු විසිනුදු නො පිළිවනි.
තුදුස්වන බුඞවර්‍ගය යි.
පළමු බණවර යි.
15. සුඛ වර්‍ගය
1.(197) (ප්‍රාණවධාදි පංචවිධ වෛරයෙන්) වෛරී වූ මනුෂ්‍යයන් අතුරෙහි (දුශ්චරිතවෛර නැතියෙන්) අවෛරි වූ අපි, මනුෂ්‍යයන් දුශ්චරිත වෛරයෙන් වෛරී වැ පවත්නා කල්හි අවෛරි ව වසමෝ ද, එසේ වූ අපි ඒකාන්තයෙන් ඉතා සුව සේ ජීවත් වමු.
2.(198) ආශ්චර්‍ය්‍යයෙකි! අපි ක්ලේශාතුරයන් අතුරෙහි අනාතුර වන්නමෝ ඉතා සුවසේ ජීවත් වමු . (මෙසේ) මිනිසුන් ක්ලේශාතුර වන කල්හි අපි එයින් ආතුර නොවී වසමු.
3.(199) ආශ්චර්‍ය්‍යයෙකි! අපි පස්කම් සෙවීමෙහි උත්සුක මිනිසුන් අතුරෙහි එහි අනුත්සුක වන්නමෝ ඉතා සුවසේ ජීවත් වමු. (මෙසේ) මිනිසුන් පස්කම් සෙවීමෙහි උත්සුක වන කල්හි අපි එහි අනුත්සුක ව වසමු.
4.(200) ආශ්චර්‍ය්‍යයෙකි! යම් බඳු අපට රාගාදි කිසි පළිබෝධයෙක් නැද්ද, එබඳු වූ අප ඉතා සුව සේ ජීවත් වමු. ආභාස්වර බ්‍රහ්මයන් මෙන් ප්‍රීතිය ම ආහාර කොට ඇත්තෝ වම්හ.
5.(201) මෙරමා දනන්නේ (හෙවත් දූකෙළීම් ආදියෙන් අනුන් පරදවන්නේ), වෛර උපදවයි. (වෛරීන් ඇති කෙරෙයි). අනුන් විසින් දිනන ලදුයේ දුක සේ වසයි. කෙලෙස් සංහිඳුණු ක්‍ෂීණාස්‍රව තෙම දිනුම් පැරදුම් දුරලා සුව සේ වසයි.
6.(202) රාගය හා සම ගින්නෙක් නැත. ද්වේෂය හා සම අපරාධයෙක් නැත. පඤ්චස්කන්‍ධ දුඃඛය හා සම දුකෙක් නැත. නිර්‍වාණ සැපයට වැඩි තරම් සුවයෙක් නැත.
7.(203) රෝගයෝ සාදුක පරම කොට ඇත්තාහ. දුඃඛයෝ තාක් සංස්කාරයන් (පංචස්කන්‍ධයන්) පරම කොට ඇත්තාහ. මේ දෙකරුණ තත් වූ පරිදි දැන (නුවණැත්තෝ නිවන් පසක් කරති.) නිවණ උතුම් වූ සුවය යි.
8.(204) සියලු ලාභයෝ තාක් නීරෝග බව පරම කොටැත්තාහ. (රෝගිහු ලත් ලාභයෝ ලාභ නම් නො වෙත් නු යි නිරෝග බව උත්තම ලාභ නම් වෙයි.) ධනය සතුට පරම කොටැත්තේ ය. (යම් ධනයෙක් තමා විසින් ලබන ලද නම්, යම් ධනයෙක් තමා සතු නම්, එයින් ම සතුටු වන බව සෙසු ධනයට වඩා උතුම් ධනයෙක) නෑයෝ නම් විශ්වාසය පරමකොටැත්තෝ ය. (මාපියෝ ද යමකු හා විශ්වාසය නැත්නම් හෙ තෙම නො නෑ ම ය. යමෙක් වනාහි නොනෑ වුව ද විශ්වාස වී නම් හේ උතුම් නෑ ය.) සුවය නිවන පරම කොටැත්තේ ය (නිවන් හා සම සුවයෙක් නැත. එ බැවින් නිවන උතුම් ම සුවය යි.)
9.(205) කායචිත්තවිවේකයෙන් උපන් (සුව සොම්නසැ යි කියන ලද) රසය ද, ක්ලේශව්‍යුපශම යැ යි කියන ලද නිවනේ රසය ද බී, (දුඃඛසත්‍යය පිරිසි ඳ දැනීම් ආදිය කෙරෙමින් නිවන අරමුණු වශයෙන් ප්‍රත්‍යක්‍ෂ කරමින් අනුභව කොට නවලෝකොත්තර ධර්‍ම වශයෙන් උපන් ප්‍රීතිරසය බොන්නාවු රහත් මහණ තෙම (මේ උභය රසපානයෙන් රාගදරථාදීන් නැති හෙයින්) පීඩා රහිත ද වන්නේ ය. පව් නැත්තෙක් ද වන්නේ ය.