13. ලෝක වර්ගය
1.(167) ලාමක ධර්මය (පංචකාමගුණය) නො සෙවුනේ ය. ප්රමාදය හා එක් ව නො වසන්නේ ය. මිත්ථ්යාදෘෂ්ටිය ද සේවනය නො කරන්නේ ය. ලොව වඩන්නෙක් නො වන්නේ ය (සසර නො වඩන්නේ ය).
2.(168) ගෙපිළිවෙළින් පිඬු සිඟා ලැබිය යුතු කෙණෙසි අහරෙහි නො පමා වන්නේ ය. භික්ෂූචර්ය්යධර්මය සකසා පුරුදු කරන්නේ ය. භික්ෂාචර්ය්යධර්මය අනුව හැසිරෙන මහණ තෙම මෙ ලොවෙහි ද පරලොවෙහි ද සුවසේ වෙසෙයි.
3.(169) (භික්ෂාචර්ය) ධර්මය (අනෙස්නෙන් තොර වැ පිඬුසිඟීමෙන්) මනා කොට පුරන්නේ ය. එය (වේසියගෝචරාදි අගෝචරයෙහි හැසිරීම් වශයෙන්) නපුරු කොට නො පුරන්නේ ය. භික්ෂාචර්ය්යධර්මය මනා ව පුරනා මහණ තෙම මෙ ලොවෙහි ද පරලොවෙහි ද සිවු ඉරියවුහි ම සුව සේ වෙසෙයි.
4.(170) දිය බුබුලක් (ඉපිද වහා නස්නේ යැ යි තුච්ඡ යැ යි අසාර යැ යි) යම්සේ බලා ද, (පවනින් සැලුනු ඉරු රැස යැ යි කියන ලද) මිරිඟුව ගන්නට නොනිසි යැ යි දක්නේ ද, එ පරිද්දෙන් ම (ස්කන්ධායතනධාතුසංඛ්යාත) ලෝකය (ඉපිද වහා නස්නේ ය, තුච්ඡ ය, අසාර ය, ආත්ම ආත්මීය භාවයෙන් ගන්නට නො නිසි යැ යි) නුවණැසින් බලන තැනැත්තහු මෘත්යුරාජ තෙම (මරණ තෙම) (තමාට අවිෂය වූ නිවන් පුරයට ගිය හෙයින්) නො දක්නේ ය.
5.(171) මෙහි ඵවු. යම් අත්බැවෙක්හි අනූවණයෝ (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) ගැලෙද් ද, නුවණැත්තනට යම් අත්බැවෙක්හි (රාගසඞ්ගාදි) කිසි සඞ්ගයෙක් නැද්ද, (රන් රිදී ඈ රුවනින්) විසිතුරු වූ, රාජරථයක් බඳු වූ (හෙවත් රජදරුවන් නැගෙන මඟුල් රියක් සේ වස්ත්රාභරණාදියෙන් විසිතුරු කරණ ලද) (ස්කන්ධාදි ලෝක යැ යි කියන ලද) මේ අත්බව බලවු.
6.(172) යම් පුද්ගලයෙක් පූර්වභාගයෙහි (වත් පිළිවෙත් පිරීමෙන් හෝ බණ හැදෑරුම් ආදියෙන් හෝ යෝනිසෝමනසිකාරයෙහි) ප්රමත්ත ව ද, හෙ තෙම පසු වැ (මග පල සුවයෙන් දවස් යවන්නේ යෝනිසෝමනස්කාරයෙහි) නො පමා වේ ද, හෙ තෙම වලාපටලයෙකින් මිදුනු පුන්සඳ අහස්ලොව (බබුලුවන්නා) සේ (ස්කන්ධාදිසංඛ්යාත) මේ ලොව (ඥානාලෝකයෙන් බබුලුවන්නේ ය.
7.(173) යමකු විසින් කළ පාපකර්මය (අර්හත්ත්වමාර්ගසම්ප්රයුක්ත චේතනා සංඛ්යාත) කුසලයෙන් පිහියේ ද (මුව ව සේ ද), හෙ තෙම වලා පටලයෙකින් මිදුනු පුන් සඳු (අහස බබුලුවන්නා) මෙන් (ස්කන්ධාදිසංඛ්යාත) මේ ලෝකය ඥානාලෝකයෙන් බබුලුවන්නේ ය.
8.(174) මේ ලොවී මහ ජන තෙම නුවණැස් නැතියෙන් අන්ධ ය. මේ මහජනයා අතුරෙහි ස්වල්ප සත්ත්වයෙක් ම අනිත්යාදි වශයෙන් ස්කන්ධපංචකය දක්නේ ය. (ලිහිණිවැද්දකු දැමූ) දැලට හසු වැ එයින් මිදී පලා යන වටුවකු මෙන් (මාරජලයෙන් වැසුනු සත්ත්වයන් අතුරෙන්) ස්වල්ප වූ කිසි සත්ත්වයෙක් ම (සුෂටු අග්ර හෙයින් සග්ග යැ යි කියන ලද) සුගතියට ද නිවනට ද යන්නේ ය.
9.(175) හංසයෝ (කර්මවිපාකජර්ධියෙන්) අහසෙහි යෙති. (යෝගීහු) භාවනාමයර්ධියෙන් අහසෙහි යෙති. (හේතු සම්පන්න කෘතාධිකාර ඇති) ප්රාඥයෝ සෙන් සහිත මරහු දිනා ලෝකයෙන් (සසරවටින්) නික්මෙන්නාහ (නිවන් යන්නාහ).
10.(176) එක ම වාක්සත්ය ධර්මය ඉක්ම ගිය, බොරු බොහෝ කොට කියන සුලු වූ, (දෙව් මිනිස් සැපට ද නිවන් සැපට ද හිමි නො වන බැවින්) හරණ ලද පර ලොව ඇති; සත්ත්වයා විසින් නොකට හැකි අකුසලෙක් නම් නැත.