3. අයොඝර චරියාව
261. නැවත අනෙකුදු චරියාවක් කියමි. යම් කලෙක මම් කාසි රජුට පුත‍්‍ර වූයෙම් ද, එකල්හි (මහත් වූ) අයෝමය ගෘහයෙක් හි වැඩුණෙම් නමින් ‘අයොඝර’ නම් වීමි.
262-263. සම්බාධයෙහි වඩන ලදුයෙම් දුකසේ දිවි ලද්දේය. පුත‍්‍රය, අද මැ රට සහිත වූ නියම්ගම් සහිත වූ ජනයා සහිත වූ මේ සියලු පෘථිවිය පිළිගනුව. මම් පියරජු වැඳ ඇඳිලි බැඳ ගෙන මෙ වදන් කීමි:
264. පෘථිවියෙහි හීනෝත්කෘෂ්ටමධ්‍යම වූ යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද ඔහු ඥාතීන් සමඟ අරක් නැති වැ වැඩෙත්.
265. සම්බාධයෙහි මාගේ මේ වැඩීම මෙලොවැ අසදෘශකාරණයෙක් විය. සඳ හිරු දෙදෙනා ගේ ආලෝක රහිත වූ අයෝමය ගෘහයෙහි වැඩිණිමි.
266. පූතිකුණපයෙන් පිරුණු මවුකුසින් මිදී නැවත එ මවුකුසැ විසීමට වඩා ඉතා දරුණු දුක් ඇති අයෝමයගෘහයෙහි බහාලන ලදුයෙමි.
267. ඉදින් මම එබඳු වූ අතිශයින් දරුණු දුකට පැමිණ රාජ්‍යයෙහි ඇලෙම් නම් ලාමක පුරුෂයන් අතුරෙහි උතුම් වෙමි.
271. මේ ශරීරය හේතු කොට ගෙන උකටලී වෙමි. රාජ්‍යයෙනුදු ප්‍රයෝජන නැත්තෙම් වෙමි. යම් තැනෙකැ සිටි මා මාර තෙමේ නො මඩනේ ද එ නිවන සොයන්නෙමි.
272. මම් මෙසේ සිතා (මවුපියන් ප‍්‍රමුඛ) මහජනයා හඬන කල්හි බැඳුම් සිඳ ඇත් රජක්හු සෙයින් මහවනයට පිවිසියෙමි.
273. මවුපිය දෙදෙන මට අප්‍රිය නො වෙති. මහත් වූ යශස් මට නො ද අප්‍රිය වෙයි. මට සර්‍වඥතාඥානය ප්‍රිය වෙයි. එහෙයින් රාජ්‍යය හළිමි.
තුන්වැනි අයොඝර චරියාව යි.
4. භිස චරියාව
274. නැවත අනෙකුදු චරියාවක් කියමි. යම් කලෙක මම් කසීරට (බරණැස් නම්) අගනුවර (මහාකඤ්චන නම් කුමාර) වීම් ද එකල්හි නැඟණි යැ සත් සොහොයුරු යැ යන ඇපි (මන්ත‍්‍ර හදාරන) සොත්‍ථිය නම් කුලයෙහි උපන්නමෝ වූම්හ.
275. මොවුනතුරින් මම් දෙටු වූයෙම් ශුක්ල සඞ්ඛ්‍යාත වූ පව් ගරහන හිරියට පැමිණියෙම් භවය භය හෙයින් දැක නෛෂ්ක‍්‍රම්‍යයෙහි ඇලුනෙමි.
276. මව්පියන් විසින් මෙහෙයන ලද (පෙර මා හා) එක් අදහස් ඇති යහළුවෝ ‘කුලවංශය ධරව’යි කාමයෙන් මා නිමන්ත‍්‍රණය කළහ.
277. ඔවුන් විසින් ගිහි බැව්හි සුව එළවන යම් වදනෙක් කියන ලද ද ඒ මට රත් කළ සීවැලක් බඳු වී.
278. එකල්හි ඔහු ‘යහළුව, ඉදින් කාමයන් පරිභෝග නො කරවු නම් තෙපි කුමක් ප‍්‍රාර්‍ත්‍ථනා කරවු දැ’යි මාගේ ප‍්‍රාර්‍ත්‍ථනාව (කාමයන්) ප්‍රතික්‍ෂේප කරන මා විචාළහ.
279. මට හිත කැමැති ඔවුනට තමහට වැඩ කැමැති මම් මෙසේ කීමි. ‘මම් ගිහි බව නො පතමි. මම් නෛෂ්ක‍්‍රම්‍යයෙහි ඇලුණෙමි’යි.
280. ඔහු ම බස් අසා මවුපියනට ද ඇස්වූහ. මවුපිය දෙදෙන මෙසේ කීහ. භවත්නි, ‘ඇපි සියල්ලමෝ පැවිදි වම්හ’යි.
281. මාගේ මා පිය දෙදෙන යැ නැඟණියෝ යැ සත් සොහොවුරෝ යැ යන ඇපි අප‍්‍රමාණ වූ ධනය හැරපියා මහ වනයට පිවිසියම්හ යි.
සතරවැනි භිසචරියාවයි.