4. භිස චරියාව
274. නැවත අනෙකුදු චරියාවක් කියමි. යම් කලෙක මම් කසීරට (බරණැස් නම්) අගනුවර (මහාකඤ්චන නම් කුමාර) වීම් ද එකල්හි නැඟණි යැ සත් සොහොයුරු යැ යන ඇපි (මන්ත‍්‍ර හදාරන) සොත්‍ථිය නම් කුලයෙහි උපන්නමෝ වූම්හ.
275. මොවුනතුරින් මම් දෙටු වූයෙම් ශුක්ල සඞ්ඛ්‍යාත වූ පව් ගරහන හිරියට පැමිණියෙම් භවය භය හෙයින් දැක නෛෂ්ක‍්‍රම්‍යයෙහි ඇලුනෙමි.
276. මව්පියන් විසින් මෙහෙයන ලද (පෙර මා හා) එක් අදහස් ඇති යහළුවෝ ‘කුලවංශය ධරව’යි කාමයෙන් මා නිමන්ත‍්‍රණය කළහ.
277. ඔවුන් විසින් ගිහි බැව්හි සුව එළවන යම් වදනෙක් කියන ලද ද ඒ මට රත් කළ සීවැලක් බඳු වී.
278. එකල්හි ඔහු ‘යහළුව, ඉදින් කාමයන් පරිභෝග නො කරවු නම් තෙපි කුමක් ප‍්‍රාර්‍ත්‍ථනා කරවු දැ’යි මාගේ ප‍්‍රාර්‍ත්‍ථනාව (කාමයන්) ප්‍රතික්‍ෂේප කරන මා විචාළහ.
279. මට හිත කැමැති ඔවුනට තමහට වැඩ කැමැති මම් මෙසේ කීමි. ‘මම් ගිහි බව නො පතමි. මම් නෛෂ්ක‍්‍රම්‍යයෙහි ඇලුණෙමි’යි.
280. ඔහු ම බස් අසා මවුපියනට ද ඇස්වූහ. මවුපිය දෙදෙන මෙසේ කීහ. භවත්නි, ‘ඇපි සියල්ලමෝ පැවිදි වම්හ’යි.
281. මාගේ මා පිය දෙදෙන යැ නැඟණියෝ යැ සත් සොහොවුරෝ යැ යන ඇපි අප‍්‍රමාණ වූ ධනය හැරපියා මහ වනයට පිවිසියම්හ යි.
සතරවැනි භිසචරියාවයි.
5. සෝණපණ්ඩිත චරියාව
282. නැවත අනෙක් චරියාවක් කියමි. යම් කලෙක මම් ‘බ‍්‍රහ්මවඩ්ඪන’ නම් නගරයෙහි උපනිම් ද එකල්හි මම් එහි ශ්‍රේෂ්ඨ වූ අග‍්‍ර වූ මහාසාර කුලයෙකැ උපනිමි.
283. එකල්හි දු (පැනැස නැතියෙන්) අඳ වූ අවිදු අඳුරු වතළ ලොව දැක තෝමරයෙන් පෙළන ලද සෙයින් සිත භවයෙන් හැකිළෙයි.
284. එකල්හි මම් නොයෙක් පව්කම් දැක මෙසේ සිතීමි. ‘කිකලෙකැ මම් ගිහිගෙන් නික්මැ වල්වදිම් දැ’ යි.
285. එකල්හි දු (මාගේ) නෑයෝ කාමභෝගයෙන් මා නිමන්ත‍්‍රණය කළහ. ‘ඒ කාමයෙන් නහමක් මා නිමන්ත‍්‍රණය කරව’යි ඔවුනට දු (මාගේ) ඡන්‍දය කීමි.
286. මට පණ්ඩිත වූ ‘නන්‍ද’ නම් යම් කනිටු බෑයෙක් වී නම් හෙ ද මා අනුව හික්මෙමින් පැවිද්ද රිසි වී.
287. මම ද සෝණ ද නන්‍ද ද මාගේ මාපිය දෙදෙන ද යන ඇපි එකල්හි දු භෝගයන් හැරපියා මහවනයට පිවිසියම්හ’ යි.
පස්වැනි සෝණපණ්ඩිත චරියා යි.
නෛෂ්ක‍්‍රම්‍ය පාරමිතා නිමි.