7. අනෝමදස්සී බුද්ධවංශය
1. සෝභිත නම් බුදුන්ට මෑතභාගයෙහි අපමණ වූ යසපිරිවර ඇති ශීලසමාධිප්‍රඥාතේජස් ඇති, කිසිවක්හු විසින් ඉක්මවිය නොහැකි ද්විපදෝත්තම වූ අනෝමදස්සී නම් සම්බුද්ධයන් වහන්සේ ලොව පහළ වූ සේක.
2. ඒ බුදුහු සියලු සංයෝජනයන් සිඳ තුන් භවය වනසා දෙවිමිනිසුන්ට නිවනට යන ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය දෙසූහ.
3. ඒ අනෝමදස්සී බුදුහු මහසයුර සෙයින් නො කළඹාලියහැකි වූහ. පර්‍වතයක්හු සෙයින් නො ගැටියහැකි වූහ. ආකාශය සෙයින් අනන්තයහ. සුපිපි සල්රුකක් සෙයින් සෝභමාන වූහ.
4. ප්‍රාණීහු ඒ බුදුන් දර්‍ශනයෙන් මැ සතුටු වෙති. ඔව්හු දේශනා කරන දහම් අසා නිවණට පැමිණෙති.
5. එකල්හි ඔබගේ ධර්‍මාභිසමය සමෘද්ධ වූයේ බොහෝ ජනයාට හිත විසින් පරිපූර්‍ණ වී. ප්‍රථමධර්‍මදේශනායෙහි කෙළසියක් සත්ත්‍වයෝ ධර්‍මාභිසමය කළහ.
6. එයින් මෑතභාගයෙහි දෙවැනි ධර්‍මදේශනායෙහි (බුද්ධමහාමේඝය) දහම්වැසි වස්නා කල්හි අසූකෙළක් සත්ත්‍වයෝ ධර්‍මාභිසමය කළහ.
7. එයින් මෑතභාගයෙහිදු (දහම්වැසිදහර) වස්නා කල්හි (දහම්අමාවැස්සෙන්) සත්ත්‍වයන් පිනවන කල්හි අටසැත්තැකෙළක් ප්‍රාණීන්ට තෘතීයධර්‍මාභිසමය වී.
8. මහර්ෂි වූ ඒ අනෝමදස්සී බුදුන්ට ද ෂඩභිඥා බලයට පැමිණි අර්‍හත්ඵලවිමුක්තියෙන් සුපුෂ්පිත (ශෝභාවට පැමිණි) වූ ශ්‍රාවකයන්ගේ සන්නිපාත තුනෙක් වී.
9. එකල්හි ප්‍රහීණ වූ මදමොහ ඇති ශාන්ත වූ සිත් ඇති තාදී ගුණ ඇති අට ලක්‍ෂයක් රහතුන්ගේ ප්‍රථම සන්නිපාතය වී.
10. කෙලෙස් අඞ්ගණ රහිත වූ විගත වූ කෙලෙස්රජස් ඇති උපශාන්ත වූ තාදීගුණ ඇති සත් ලක්‍ෂයක් රහතුන්ගේ දෙවැනි සන්නිපාතය වී.
11. ෂඩභිඥාබලයට පැමිණි ක්ලේශපරිනිර්‍වාණයෙන් පිරිනිවි ආර්‍ය්‍යමාර්‍ග සඞ්ඛ්‍යාත තපස් ඇති ස ලක්‍ෂයක් ක්‍ෂීණාස්‍රවයන්ගේ තුන් වැනි ශ්‍රාවකසන්නිපාතය වී.
12. එසමයෙහි මම් නොයෙක් කෙළගණන් යක්‍ෂයන් වසයෙහි පවත්වන මහේශ්වර වූ මහත් ඍද්ධි ඇති යක්‍ෂසෙනාධිපති වීමි.
13. එකල්හි දු මහර්ෂි වූ ඒ උත්තම සම්බුද්ධයන් කරා එළැඹ සඟුන් සහිත, ලෝකනායකයන් වහන්සේ ආහාරපානයෙන් සන්තර්‍පණය කෙළෙමි.
14. එකල්හි ඒ විශුද්ධ වූ ඇස් ඇති බුදුහු ‘මෙයින් අප්‍රමේය වූ කල්පයෙහි මේ තෙමේ බුදු වන්නේ ය’යි මට විවරණ දුන්හ.
15. එකල්හි තථාගත වූ මේ තෙමේ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
16. තථාගත තෙම අජපල් නම් නුගරුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙයි.
17. ඒ ජිතපඤ්චමාර තෙම නිල්දලාහෝතෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තමමාර්‍ගයෙන් ඇසතුබෝරුක වෙත එළැඹෙයි.
18. ඉක්බිති ඒ අනුත්තර වූ බෝසත් බෝමැඩ පැදකුණු කොට මහායසස් ඇතියේ ඇසැතු බෝරුක්මුල්හි හිඳ බුදු වන්නේ යැ.
19. මොවුන්ගේ ජනිකමව් තොමෝ මායා නම් වන්නී යැ. පිතෘ තෙම ශුද්ධෝදන නම් වන්නේ යැ. මේ තෙම ගෞතම නම් වන්නේ යි.
20. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන (අග්‍රශ්‍රාවක වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායකයෙක් ඒ පස්මරුන් දිනූ බුදුන්ට උපස්ථාන කරන්නේ යි.
21. ඛේමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබේ.