බුද්ධවංශපාළිය
ඒ භාග්යවත් වූ අර්හත් සම්යක් සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!
රත්නචඞ්ක්රමණ කාණ්ඩය
1. සත්ත්වලෝකයට අධිපති වු සහම්පති නම් බ්රහ්ම තෙමේ මුදුනෙහී කළ ඇඳිලිපුට ඇති ව – ‘මෙ සත්ලොවැ නුවණැස්හි අල්ප වූ කෙලේස රජස් ඇති සත්ත්වයෝ ඇත්තාහ. ඔවුනට සිව්සස්දහම් දෙසනු මැනවැ මේ සත්ත්වප්රජාවට අනුකම්පා කළ මැනවැ’යි අනුත්තර වූ සර්වඥයන් වහන්සේට ආයාචනා කෙළේ ය.
2. පරිපූර්ණ වූ අෂ්ටවිද්යා පසළොස්චරණ ධර්ම ඇති (ඉෂ්ටානිෂ්ටාදියෙහි) තාදී වූ ශරීරකාන්ති හෝ ප්රඥප්රදීප ධරන්නා වූ පශ්චිමශරීරධාරී වු අප්රතිපුද්ගල වූ තථාගතයන් වහන්සේට සියලු සත්ත්වනිකායෙහි කරුණාව උපන.
3. තෙල (මාගේ ඥාති ආදි) සදේවමනුෂ්යයෝ ‘නරෝත්තම වූ මේ සර්වඥයන් වහන්සේ කෙබඳු වූවාහු ද, ලොවට හිත වූ සර්වඥයන්ගේ ඍද්ධිබලයත් ප්රඥාබලයත් කෙබඳු වී ද. බුද්ධබලය කෙබඳු වී දැ’යි යම් හෙයෙකින් නො දනිත් ද,
4. තෙල දෙවියන් සහිත මනුෂ්යයෝ ‘නරෝත්තම වූ මේ සර්වඥයෝ මෙ බඳු වූවාහු යැ, ලොවට හිත වූ සර්වඥයන්ගේ ඍද්ධිබලයත් ප්රඥාබලයත් මෙ බඳු විය. බුද්ධබලය මෙබඳු වී ‘යයි යම් හෙයෙකින් නො දන්නාහු ද,
5. එහෙයින් මම අනුත්තර වූ බුද්ධඅනුභාවය දක්වමි. අහස්හි මුක්තාමණි ආදි රත්නයෙන් අලඞ්කෘත වු චඞ්ක්රමණයක් මවාලමි. (සිතූ සේක එකල්හි)
6. (ප්රාසාද පර්වත වන වෘක්ෂාදියෙහි සිටි) බූමාටු දෙවියෝ ද සිව්මහරජයෙහි දෙවියෝ ද තව්තිසායෙහි දෙවියෝ ද යාම දෙවියෝ ද තුෂිත දෙවියෝ ද නිර්මාණරතී නම් දෙව්ලොවැ දෙවියෝ ද පරනිර්මිත වශවර්තී නම් දෙවියෝ ද සොළොස් බඹතල වැසි දෙවියෝ ද සතුටු සිත් ඇත්තාහු මහත් වූ ඔල්වරසන් නැඟූහ.
(බුදුහු ඕදාතකිසුණු සමවත් සමවැද දහසක් සක්වළ ආලෝක වේව’යි ඉටූහ. එකෙණෙහි)
7. දේවලෝක සහිත වූ පෘථිවිය ද අසංවෘත වූ බොහෝ ලොකාන්තරිකයෝ ද අවභාෂිත වූහ. එකල්හි ඝනාන්ධකාරය ද නැසුණේ වී. ඒ අසිරිමත් පෙළහර දැක දේවමනුෂ්යයයෝ සතුටු වූහ.
8. දෙව් ගඳඹ මිනිස් රකුස් යන මොවුන් සහිත මේ ලොව ද අන් දෙව්ලෝ ද යන උභයලෝකයෙහි ද යට (අවීචිය ආදි නරකයන්හි) ද උඩ (අජටාකාශයෙහි) ද සරස (දසදහසක් සක්වළ) ද පැතිර පැවති මහත් වූ අප්රමාණ වූ ආලොකයෙක් උපන.
9. ශීලාදිගුණයෙන් සියලු සත්ත්වයන් කෙරෙහි උතුම් වූ තමන් වහන්සේට වඩා උසස් කෙනෙක් නැති. සත්ත්වයන් හික්මවන්නා වූ ශාස්තෲන් වහන්සේ දෙවිමිනිසුන් විසින් පුදනලද වූහ. මහත් අනුභාව ඇති සියපින්ලකුණෙන් යුත් සර්වඥයන් වහන්සේ ආශ්චර්ය්ය වූ පෙළහරක් දැක්වූ සේක.
10 එකල්හි (පෙළහර අවසන්හි) මිනිසුන් අතර උතුම් වූ පසැස් ඇති ලෝනාහිමි වූ ඒ බුදුරජහු සහම්පති නම් මහබඹහු විසින් අයදනා ලද්දාහු දෙවිමිනිසුනට වන වැඩ සලකා එහි මනාව නිමියා වූ සියලු රුවනින් නිමවනලද සක්මනක් මැවූහ.
11. බුදුහු ඍද්ධි – ආදේශනා – අනුශාසනී යන තුන් පෙළහරෙහි (පස් අයුරෙකින්) වශී වූහ. ලෝකනායක වූ බුදුහු මනාව නිමියා වූ සව්රුවන්මුවා සක්මනක් මැවූහ.
12. දසදහසක් සක්වළෙහි උතුම් වූ මහාමේරුපර්වතයන් රුවන් සක්මන්හි ටැඹ සෙයින් පිළිවෙළින් දැක්වූහ.
13. පස්මරුන් දිනූ බුදුහු දසදහසක් සක්වළ ඉක්මවා සක්මන මැවූහ. රුවන්මුවා සක්මන්හි දෙපස සර්වස්වර්ණමයභූමි විය.