8. පදුම බුද්ධවංශය
1. ඒ අනෝමදස්සී බුදුන්ට මෑතභාගයෙහි නමින් ‘පදුම’ නම් වූ අසම වූ අප්‍රතිපුද්ගල වූ ද්විපදෝත්තම සම්බුදු කෙනෙක් වූහ.
2. ඒ බුදුන්ගේ ද ශීලය අසම යැ සමාධිය ද අනන්ත යැ උතුම් වූ (අසාධාරණ) ඥානය ද අප්‍රමේය යැ අර්‍හත්ඵලවිමුත්තිය ද අනුපම වේ.
3. අතුල්‍ය වූ තේජස් ඇති ඒ පදුම බුදුන්ගේ ද දම්සක් පැවැත්මෙහි මහත් වූ මොහඳුරු වනසන අභිසමයයෝ තිදෙනෙක් වූහ.
4. ධීර වූ සම්බුදුහු ප්‍රථමාභිසමයයෙහි කෙළසියක් සත්නට සත්‍යාවබෝධය කළහ. ද්විතීයාභිසමයයෙහි අනූකෙළක් සත්නට සත්‍යාවබෝධය කළහ.
5. යම් කලෙක පදුම බුදුහු ස්වකීය පුතණුවන්ට ඔවා දුන්සේක් ද එකල්හි අසූකෙළක් සත්නට තෘතීයාභිසමය වී.
6. මහර්ෂි වූ පදුම බුදුන්ට තුන් ශ්‍රාවක සන්නිපාත කෙනෙක් වූහ. කෙළසුවහසක් ශ්‍රාවකයන්ගේ ප්‍රථම සමාගමය වී.
7. කෙළින්සිවුරු (කඨින) අතුරන සමයෙහි කෙළින්සිවුරක් උපන් කල්හි දම්සෙනෙවි සාල තෙරුන් පිණිස මහණහු සිවුර මැසූහ.
8. එකල්හි ඒ විගත රාගාදි මල ඇති ෂඩ්භිඥා ඇති මහත් ඍද්ධි ඇති අපරාජිත වූ තුන් ලක්‍ෂයක් මහණහු රැස්වූහ.
9. යළි මෑතභාගයෙහි ඒ නරශ්‍රේෂ්ඨ වූ බුදුහු මහවනයෙහි වාසයට පැමිණියහ. එකල්හි දෙලක්‍ෂයක් රහතුන්ගේ සමාගමය වී.
10. එසමයෙහි මම් මෘගාධිපති සිංහරාජයෙක් වූයෙමි. මහවෙනෙහි නිරොධසමාපත්තියට සමවන් බුදුන් දුටුයෙමි.
11. (උන් වහන්සේගේ) පාසඟළ මුදුනින් වැඳ ඒ බුදුන් පැදකුණු කොට තුන් යලක් සිංහනාද කොට සතියක් මුළුල්ලෙහි උවටැන් කෙළෙමි.
12. තථාගතයන් වහන්සේ සත්දින උතුම් සමවතින් නැඟී (මෙහි පැමිණෙත්වයි) සිතින් සිතා කෝටියක් භික්‍ෂූන් රැස්කළහ.
13. එකල්හිදු ඒ මහත්වීර්‍ය්‍ය ඇති සම්බුදුහු ඒ භික්‍ෂූන් මධ්‍යයෙහි ‘මේ තෙමේ මෙයින් අප්‍රමේය වූ කල්පයෙහි බුදු වන්නේ යැ’යි ප්‍රකාශ කළසේක.
14. එකල්හි තථාගත වූ මේ තෙමේ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
15. තථාගත තෙම අජපල් නම් නුගරුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙයි.
16. ඒ පස්මරුන් දිනූ මහසත් නිල්දලාහෝතෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තමමාර්‍ගයෙන් ඇසැතුබෝරුක් වෙත එළැඹෙයි.
17. ඉක්බිති ඒ මහායසස් ඇති අනුත්තර වූ මහසත් බෝමැඬ පැදකුණු කොට ඇසතුබෝරුක්මුල්හි හිඳ බුදු වන්නේ යැ.
18. මොවුන්ගේ ජනිකමව් තොමෝ මායා නම් වන්නී යැ’ පිතෘ තෙම ශුද්ධෝදන නම් වන්නේ යැ, මේ තෙම ගෞතම නම් වන්නේ යි.
19. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායක තෙර කෙනෙක් ඒ බුදුන්ට උපස්ථාන කරන්නාහ.
20. බෙමා යැ උත්පලවර්‍ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ බුදුන්ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබෙයි.
21. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අගඋවටු වන්නාහ උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අගඋවට වන්නාහ. යසස් ඇති ඒ ගෞතම බුදුන්ට හවුරුදු සියයෙක් ආයු වෙයි.
22. අසම වූ මහර්ෂීන්ගේ මෙවදන් අසා ‘මේ තෙම බුද්ධාඞ්කුරයෙකැ’යි දෙවිමිනිස්සු සතුටු වූවාහු–
23. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ බදැඳිලි වැ නමස්කාර කෙරෙත්.
24. ඉදින් මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.
25. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛතීර්‍ත්‍ථය වැරැදැ යටැ තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද–
26. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම්හ’යි.