9. නාරද බුද්ධවංශය
1. පදුම බුදුන්ට මෑතභාගයෙහි නමින් නාරද නම් වූ අසම වූ අප්‍රතිපුද්ගල වූ ද්විපදෝත්තම සම්බුදු කෙනෙක් වූහ.
2. සක්විතිරජහට ජ්‍යේෂ්ඨ ඖරසපුත්‍ර වූ ඒ බුදුහු පලන් මල්බරණ ඇත්තාහු උයනට එළැඹියහ.
3. එහි විපුල වූ යසස් ඇති මනහර වූ මහත් වූ පවිත්‍ර වූ වෘක්‍ෂයෙක් වී. එතැනට පැමිණ ඒ මහමුරුත රුක්මුල්හි හුන්හ.
4. එහි දී අප්‍රමේය වූ වජ්‍රෝපම (සියුම්) වූ උතුම් නුවණ පහළ වී. එ නැණින් සංස්කාර ධර්‍මයන්ගේ උදයව්‍යය (විදර්‍ශනායෙන්) විමසූහ.
5. එහි දී හැම කෙලෙසුන් නිරවශේෂ කොට ප්‍රහාණය කළහ, පරිපූර්‍ණඅර්‍හන්මාර්‍ගඥානය ලදහ, තුදුස් බුදුනුවණ ද ලදහ.
6. සම්බෝධියට පැමිණ දම්සක් පැවැත්වූහ. කෙළලක්‍ෂයක් සත්නට ප්‍රථමාභිසමය වී.
7. එකල්හි මහමුනිහු මහාද්‍රෝණ නම් නාරජ දමනය කෙරෙමින් දෙවියන් සහිත ලෝකයාට පැනෙමින් පෙළහර පෑහ.
8. එකල්හි එ ධම්දෙසුන්හි දෙව්මිනිසුන් අතුරින් අනූකෙළදහසක් ප්‍රාණීහු හැම සංශය ඉක්ම ගියහ.
9. මහත්වීර්‍ය්‍ය ඇති බුදුහු යම් කලෙක සිය පුතණුවන්ට ඔවා දුන්හු ද, එකල්හි අසූකෙළ දහසක් සත්නට තෘතීයාභිසමය වී.
10. මහර්ෂි වූ නාරද බුදුන්ට තුන් ශ්‍රාවක සන්නිපාත කෙනෙක් වූහ. කෝටිලක්‍ෂයක් ශ්‍රාවකයන්ගේ ප්‍රථම සමාගමය වී.
11. යම් කලෙක බුදුහු නිදාන සහිත කොට බුදුගුණ ප්‍රකාශ කළසේක් ද එකල්හි අනූකෙළදහසක් රහත්හු රැස්වූහ.
12. යම් කලෙක වෙරොචන නම් නාග තෙම දන් දුන්නේ ද එකල්හි අසූලක්‍ෂයක් ශ්‍රාවකයෝ රැස්වූහ.
13. එකල්හි මම් උග්‍රතපස් ඇති ජටිල වූයෙම් පඤ්චඅභිඥාවන්හි පරතෙරට පැමිණියෙම් අහස්හි සරනුයෙම් වීමි.
14. එකල්හිදු මම් සඟුන් සහිත වූ පරිජනයා (උපාසක ජනයා) සහිත වූ අසමසම වූ බුදුන් ආහාරපානයෙන් සතප්වා සඳුනෙන් පිදීමි.
15. ලෝකනායක වූ ඒ නාරද බුදුහු ද ‘මේ තෙම මෙයින් අප්‍රමේය වූ කල්පයෙහි බුදු වන්නේ යැ’ යි මට විවරණ දුන්සේක.
16. එකල්හි තථාගත වූ මේ තෙමේ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
17. තථාගත තෙම අජපල් නම් නුගරුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙයි.
18. ඒ පස්මරුන් දිනූ බුදුහු නිල්දලා හෝතෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තමමාර්‍ගයෙන් ඇසැතුබෝරුක් වෙත එළැඹෙයි.
19. ඉක්බිති ඒ මහායසස් ඇති අනුත්තර වූ මහසත් බෝමැඩ පැදකුණු කොට ඇසැතුබෝරුක්මුල්හි හිඳ බුදු වන්නේ යි.
20. මොවුන්ගේ ජනිකමව් තොමෝ මායා නම් වන්නී යැ පිතෘ තෙම ශුද්ධෝදන නම් වන්නේ යැ, මේ තෙම ගෞතම නම් වන්නේ යි.
21. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අශ්‍රශ්‍රාවක වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායක තෙර කෙනෙක් ඒ බුදුන්ට උපස්ථාන කරන්නාහ.
22. ඛේමා යැ උත්පලවර්‍ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ බුදුන් ගේ බෝධිය ‘ඇසැතු’ යයි කියනු ලැබෙයි.
23. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අගඋවටු වන්නාහ, උත්තරා යැ නන්‍ද මාතා යැ යන දෙදෙන අගඋවට වන්නාහ, යසස් ඇති ඒ ගෞතම බුදුන්ට හවුරුදුසියයෙක් ආයු වෙයි.