10. පදුමුත්තර බුද්ධවංශය
1. නාරද නම් සම්මාසම්බුදුනට මෑතභාගයෙහි අකම්ප්‍ය වූ සාගරයට බඳු උපමා ඇති පියුමතුරා නම් ද්විපදෝත්තම සම්මාසම්බුදුහු (ලොව පහළ වූහ.)
2. යම් කපෙක පියුමතුරා සම්මාසම්බුදුහු උපන්සේක් ද, හේ මණ්ඩකලපය බඳු වී යැ. එකප්හි උත්සන්න වූ කුසල් ඇති ජනසමූහය උපන.
3. පියුමතුරා බුදුන්ගේ ප්‍රථමධර්‍මදේශනායෙහි කෙළලක්‍ෂයක් ප්‍රාණීන්ට ධර්‍මාභිසමය වීය.
4. එයින් මෑතභාගයෙහිදු ප්‍රාණීන් පිණවන වර්‍ෂාඍතුහුගේ අන්තයෙහි සත්තිස් ලක්‍ෂයක් ප්‍රාණීන්ට ද්විතීයාභිසමය වී.
5. යම් කලෙක මහත්වීර්‍ය්‍ය ඇති බුදුහු ආනන්‍ද නම් වූ පියමඟරජුන් කරා එළැඹිසේක් ද, එකල්හි පියරජුන් කරා පැමිණ අමා බෙර පහළහ.
6. අමාබෙර පහළ කල්හි දහම්වැසි වස්නා කල්හි පනස්ලක්‍ෂයක් ප්‍රාණීන්ට තෘතීයාභිසමය වී.
7. හැම සත්නට සරණශීලාදීන් අවවාද කරන සිව්සස් අවබෝධ කරන චතුරෝඝ තරණය කරවන දේශනායෙහි නිපුණ වූ බුදුහු බොහෝ ජනසමූහයා සසරකතරින් තරණය කරවූසේක.
8. පියුමතුරා බුදුන්ට තුන් ශ්‍රාවකසන්නිපාත කෙනෙක් වූහ. කෙළලක්‍ෂයක් ශ්‍රාවකයන්ගේ ප්‍රථමසමාගමය වී.
9. යම් කලෙකැ අසමසම වූ බුදුහු වේභාරපර්‍වතයෙහි වස්වුසූසේක් ද එකල්හි අනූදහසක් ශ්‍රාවකයන්ගේ ද්විතීය සමාගමය වී.
10. නැවත චාරිකායෙහි නික්මුණු කල්හි ගම්නියම්ගම්දනවියෙන් නික්ම පැවිදි වූ අසූ කෙළදහසක් ශ්‍රාවකයන්ගේ තෘතීය සමාගමය වී.
11. එසමයෙහි මම් ජටිල නම් මහරැටි වූයෙම් බුදුපාමොක්සඟනට සිවුරු සහිත උතුම් දනක් දිනිමි.
12. ඒ පියුමතුරා සර්‍වඥයන් වහන්සේ ද සඟමැද වැඩහිඳ මේ තෙම මෙයින් ලක්‍ෂයක් වන කල්පයෙහි බුදු වන්නේ යැ’යි මට විවරණ දුන්සේක.
13. එකල්හි තථාගත වූ මේ තෙමේ රම්‍ය වූ කපිල නම් පුරයෙන්, නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
14. තථාගත තෙම අජපල් නම් නුගරුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙයි.
15. ඒ පස්මරුන් දිනූ බුදුහු නිල්දලාහෝතෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තමමාර්‍ගයෙන් ඇසැතුබෝරුක් වෙත එළැඹෙයි.
16. ඉක්බිති ඒ මහායසස් ඇති අනුත්තර වූ මහසත් බෝමැඩ පැදකුණු කොට ඇසැතුබෝරුක් මුල්හි හිඳ බුදු වන්නේ යි.
17. මොවුන්ගේ ජනිකමව් තොමෝ මායා නම් වන්නී යැ. පිතෘ තෙම ශුද්ධෝදන නම් වන්නේ යැ, මේ තෙම ගෞතම නම් වන්නේ යි.
18. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායක තෙර කෙනෙක් ඒ බුදුන්ට උපස්ථාන කරන්නාහ.
19. ඛේමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ බුදුන්ගේ බෝධිය ‘ඇසැතු’ යයි කියනුලැබෙයි.
20. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අග උවටු වන්නාහ, උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අගඋවට වන්නාහ. යසස් ඇති ඒ ගෞතම බුදුන්ට හවුරුදුසියයෙක් ආයු වෙයි.
21. අසම වූ මහර්ෂීන්ගේ මෙවදන් අසා ‘මේ තෙම බුද්ධාඞ්කුරයෙකැ’ යි දෙවිමිනිස්සු සතුටු වූවාහු–
22. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ බදැඳිලි වැ නමස්කාර කෙරෙත්.