11. සුමේධ බුද්ධවංශය
1. පියුමතුරා නම් බුදුන්ට මෑතභාගයෙහි ලෝකනායක වූ නො ගැටියහැකි වූ උග්‍රතේජස් ඇති මුළුලොවට උතුම් වූ සුමේධ නම් බුදුහු (ලොව පහළ වූ සේක.)
2. පහන් නුවන් ඇති මනා මුව ඇති සිරුරු පමණින් මහත් වූ ඍජුගාත්‍ර ඇති බබළන සිරුරු ඇති හැම සත්නට හිතකර වූ උන් වහන්සේ බොහෝ සත්ත්‍වයන් සංසාරබන්‍ධනයෙන් මුදලූ සේක.
3. යම් කලෙකැ සුමේධ බුදුහු උතුම් වූ පරිපූර්‍ණ සම්බෝධියට පැමිණ සුදර්‍ශන නගරයෙහි දම්සක් පැවැත් වූ සේක් ද,
4. එකල්හි උන්වහන්සේ ගේ ධර්‍ම දේශනායෙහි ධර්‍මාභිසමය තුනෙක් වී යැ. කෙළ සුවහසක් සත්නට ප්‍රථමාභිසමය වී.
5. යළි පස්මරුන් දිනූ ඒ සුමේධ බුදුහු කුම්භකර්‍ණ නම් යක්‍ෂයා දමනය කළ සේක. (එකල්හි) අනූ කෙළ දහසක් සත්නට ද්වීතීයාභිසමය වී.
6. යළි අපමණ යසස් ඇති බුදුහු චතුස්සත්‍යය ප්‍රකාශ කළහ, (එකල්හි) අසූ කෙළ දහසක් සත්නට තුන් වැනි ධර්‍මාභිසමය වී.
7. මහර්ෂි වූ සුමේධ සර්‍වඥයන් වහන්සේට විගතරගාදි මල ඇති සන්හුන් සිත් ඇති තාදීගුණ ඇති රහතුන් ගේ සන්නිපාත තුනෙක් වී.
8. යම් කලෙකැ පස්මරුන් දිනූ බුදුහු සුදර්‍ශන නම් නගරවරය කරා එළඹි සේක් ද, එකල්හි ක්‍ෂීණාස්‍රව භික්‍ෂූහු සියක් කෝටියක් රැස්වූහ.
9. යළි දේවකූටයෙහි භික්‍ෂූන්ට කෙළින් සිවුරු අතුළ කල්හි අනූ කෙළක් ශ්‍රාවකයන් ගේ ද්විතීය සමාගමය වී.
10. යළි යම් කලෙක දසබල බුදුහු චාරිකායෙහි වැඩිසේක් ද එකල්හි අසූ කෝටියක් ශ්‍රාවකයන් ගේ තෘතීය සමාගමය වී.
11. එසමයෙහි මම් උත්තර නම් මාණවයෙක් වීමි, මාගේ ගෙහි අසූ කෙළක් ධනය රැස් කරන ලද වී.
12. සියලු ධනය නිරවශේෂයෙන් සඟුන් සහිත ලෝකනායකයන් විෂයයෙහි පුදා උන් වහන්සේ ගේ සරණයට පැමිණියෙමි, පැවිද්ද ද රුචි කෙළෙමි.
13. ඒ සුමේධ බුදුහු ද අනුමෝදනා කරන්නාහු ‘මේ තෙම මෙයින් තිස්දහසක් වන කප්හි බුදු වන්නේ යැ’ යි මට විවරණ දුන් සේක.
14. එකල්හි තථාගත වූ මේ තෙමේ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
15. තථාගත තෙම අජපල් නම් නුගරුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙයි.
16. පස්මරුන් දිනූ මුනිහු නිල්දලාහෝතෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තම මාර්‍ගයෙන් ඇසැතු බෝරුක් වෙත එළැඹෙයි.
17. ඉක්බිති මහායසස් ඇති අනුත්තර වූ මහසත් බෝ මැඬ පැදකුණු කොට ඇසැතු බෝ රුක මුල්හි හිඳ බුදු වන්නේ යි.
18. මොවුන් ගේ ජනික මව මායා නම් වන්නී යැ, පිය තෙමේ ශුද්ධෝදන නම් වන්නේ යැ, මේ තෙම ගෞතම නම් වන්නේ යි.
19. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ; ආනන්‍ද නම් උපස්ථායක තෙර කෙනෙක් ඒ බුදුනට උපස්ථාන කරන්නාහ.
20. බෙමා යැ උප්පලවණ්ණායැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබෙයි.
21. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වන්නාහ. උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වන්නාහ. යසස් ඇති ඒ ගෞතම බුදුන්ට හවුරුදු සියයෙක් ආයු වන්නේ යි.
22. අසම වූ මහර්ෂීන් ගේ මෙ බස් අසා ‘මේ තෙම බුද්ධබීජාඞ්කුරයෙකැ’ යි සතුටු වූ දෙවි මිනිස්සු–
23. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝ වැස්සෝ බදැඳිළි වැ නමස්කාර කෙරෙත්.